ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'ථේරවාදී භික්ෂු කතිකාවත': භික්ෂූන් වහන්සේගේ අදහස්

ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න -හලාවත සිට

ශ්‍රී ලංකාවේ ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම සහ විනය කරුණු සම්බන්ධ විධිවිධාන සහ විනය කඩ කිරීම් සඳහා පනවනු ලබන දණ්ඩන ඇතුළත් 'ථෙරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත' රට තුළ සංවාදයට බඳුන් වී ඇත.

ඉහත කී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහා සංඝරත්නය විවිධ අදහස් දක්වති.

'ථෙරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත' පිළිබඳ අදහස් දක්වන අන්‍යාගමිකයන් බහුතරයක් වෙසෙන කල්පිටිය කන්දකුලිය ශ්‍රී සමුද්‍රාසන්න විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බැඳිවැව දියසේන හිමියන් ප්‍රකාශ කළේ අතීතයේ සිට භික්ෂූන්ගේ මඟ පෙන්වීම යටතේ ජනතාවට මානසික සුවය මෙන්ම ශාරීරික සුවයද ලැබුණු බවයි.

මා විහාරස්ථානය වෙත යන අවස්ථාවේ පූජ්‍ය බැඳිවැව දියසේන හිමියන්, පවුල් ආරවුලක් විසඳීම සඳහා දෙවියන්ට යාතිකාවක් සිදු කරමින් සිටිනු දක්නට හැකි විය.

ඉක්බිති විහාරස්ථානය වෙත තවත් කීප දෙනෙකුම පැමිණි අතර ඔවුන්ගෙන් ඇතමෙක් පැමිණ තිබුණේ ශාරීරික ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර ගනු පිණිසයි.

කොඩිවින

ආරච්චිකට්ටුව හැළඹවටවන විදුහලේ ප්‍රාථමික අංශය ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් පසුගිය සතියේ පැවති උද්ඝෝෂණයකදී මට පූජ්‍ය විල්පොත ප්‍රේමානන්ද හිමියන් දැක ගත හැකි විය.

විල්පොත ප්‍රේමානන්ද හිමියන් ඉහත කී උද්ඝෝෂණයට සහභාගී වී සිටි පිරිස්වලට නායකත්වය ලබා දෙමින් කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට තිබිණි.

"මහත්තයෝ මම මෙතනට ආව නිසා තමයි කිසි ගැටලුවක් නැතිව මේ උද්ඝෝෂණය කරන්නේ. මම ආවේ නැත්නම් මොකද වෙන්නේ. මේ ගේන නීති රීති වලින් අපිව පන්සලටම කොටු කරයි.''

භික්ෂූන් වහන්සේලා වෙත නීති පැනවීමට රජය උත්සාහ දරන බවට ඇතැම් පිරිස් අතර මතයක් පවතියි.

පසුගියදා මුස්ලිම් ජාතිකයන් හා අලුත්ගම දී ඇතිවූ සිදුවීම් වලට ඇතැම් භික්ෂූන් වගකිවයුතු බව තවත් සමහරකුගේ අදහසයි.

බෞද්ධ දර්ශනය

අලුත්ගම සිදු වූවා වැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියා නැවත ඇති නොවනු වස් භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් විනය නීති පැනවීමේ අවශ්‍යතාවක් පවතින බව ඉහත කී පිරිස් පවසති.

ශාන්තිකර්ම, කොඩිවින, හදිහූනියම් වැනි බෞද්ධ දර්ශනයට ඇතුළත් නොවන කටයුතුවලින් භික්ෂූන් ඉවත් විය යුතු බව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානාධිපති පූජ්‍ය ඉත්තදෙමලියේ ඉන්දසාර හිමියන්ගේ අදහසයි.

බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ ඉහත කී පනත් කෙටුම්පතට මහානායක ස්වාමීන් වහන්සේලාගේ කැමැත්ත ලැබුණු බවයි.

තමන් මහානායක ස්වාමීන් වහන්සේලා හමු වී කළ සාකච්ඡාවේදී මහානායක හිමිවාරු එවැන්නක් සඳහන් නොකළ බව රණවිරුවන් සුරැකීමේ ව්‍යාපාරයේ ජාතික සභාපති බෙන්ගමුවේ නාලක හිමියන් පැවසූහ.