අලි මිනිස් ගැටුම: තවත් අලියෙක් අහිමි වෙයි

අම්පාර මඩකලපුව මායිමේ කන්නපුර ප්‍රදේශයේදි විදුලිය සැර වැදීම නිසා වල් අලියෙකු මිය ගොස් තිබෙන බව වනජීවි නිළධාරිහු පවසති.

අද (19) අලුයම් කාලයේදි මෙම අලියාට විදුලි සැර වැදී ඇති බවටයි ඔවුන් විශ්වාසය පළ කරන්නේ.

වනජීවි නිළධාරින් පවසන පරිදි වයස අවුරුදු තිහක් පමණ වන මෙම අලියාගේ උස අඩි අටයි අඟල් දහයකි.

මෙම ප්‍රදේශයේ වන අලි රාත්‍රි කාලයේදී නිතර ගම් වදින නිසා ගම්වැසියන් විදුලිය යොදා ඇතැයි පරීක්ෂණ පවත්වන වනජීවි නිළධරිහු පවසති.

අලියාගේ හොඬවැල ප්‍රදේශයට විදුලිය සැර වැදි තිබූ ආකාරය ද එහි ගිය අපට දැක ගැනීමට හැකි විය.

මෙම අලි මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර වනජීවි පශු වෛද්‍ය කාර්යාලය මගින් සිදු කිරීමට නියමිතව තිබේ.

2016 ජනවාරි මාසය තුළ පමණක් නැගෙනහිර වනජීවි කලාපයේ වන අලින් හතර දෙනෙකු මිය ගොස් ඇති බව අම්පාර වනජීවි සහකාර අධ්‍යක්ෂක ඩි.එමි. විරසිංහ පැවසීය.

මෙම අලින් මිය ගොස් තිබෙන්නේ හක්ක පටස් කෑමෙන්, වෙඩි තැබීමෙන් සහ විදුලිය දැමීමෙන් බවද ඔහු පවසයි.