මාධ්‍ය ක්‍රීඩකයන්ට මඩ ගැසුවා -ඇන්ජෙලෝ

Image copyright Getty

තරඟ පාවාදීමකට ගත් උත්සාහයක් පිළිබඳව පවතින විමර්ශනය යොදා ගනිමින් ඇතැම් මාධ්‍ය ආයතන ක්‍රීඩකයන්ට මඩ ගැසීමක නිරත වූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා චෝදනා කළේය.

කෙසේ නමුත් ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිදුව තබා ගැනීම සඳහා දරන උත්සාහය පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාට, ක්‍රිකට් ආයතනයට සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ස්තුතිවන්ත වන බවයි නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසන්නේ.

ඔහු මේ බව කියා සිටියේ තමාට ලැබුණු කැඳවීමක් මත පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට වෙත පැමිණි අවස්ථාවේදී බීබීසී සංදේශයේ අසාම් අමීන් කළ විමසීමකට පිළිතුරු දෙමින්.

'නම් කැත කිරීම'

‘සමහර මාධ්‍ය ආයතන සහ වෙබ් අඩවි මේක ක්‍රීඩකයන්ට එරෙහිව යොදා ගෙන ක්‍රීඩකයන්ට යම්කිසි මඩ ගැසීමක් සහ නම් කැත කරන්න සහ අපහසුතාවයකට ලක් කළා, මේ දේ වැරදි විදියට එළියට දාල. අපි ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි. ක්‍රීඩාව පිරිසිදුව තබා ගැනීමට තමයි අපි ඒ ක්‍රියාමාර්ග ගන්නේ.’

‘මේක ක්‍රීඩකයන්ට එරෙහිව කරන පරීක්ෂණයක් නොවෙයි. මේක ක්‍රීඩකයන්ට කරපු බලපෑම්වලට එරෙහිව කරන විමර්ශනයක් කියල මම පැහැදිලිවම කියන්න කැමතියි.’ ඇන්ජෙලෝ මැතිව්ස් පැවසීය.

වැඩ තහනම

ඔහු තවදුරටත් කියා සිටියේ කුසල් ජනිත්ට සහ රංගන හේරත් ට කරන ලදැයි පැවසෙන බලපෑම් සම්බන්ධයෙන් කණ්ඩායමේ නායකයා ලෙස තමා දන්නා දේ සටහන් කර ගැනීමට තමා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කරුවෙකු ගේ වැඩ තහනම් කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ කුමන කාරණයක් මතද යන්න පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා මෙහිදී ප්‍රකාශ කළේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ඇන්ජෙලෝ මතිව්ස්ගෙන් පැය හතරහමාරක් තිස්සේ ප්‍රශ්න කර තිබේ.