ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පොර්ට් සිටි යළි ආරම්භ වන්නේ ඇයි?

තිසර අරවින්ද රතුවිතාන.

බීබීසී -ලන්ඩන්

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නතර කළේ පාරිසරික ගැටළු නිසා බවත් ඉන් පරිසරයට වන හානිය අවම කර ගනිමින් ඉදිරියට ගෙන යා හැකි බවත් රජය පවසයි.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න ඒ බව කියා සිටියේ මතභේදයට තුඩු දී තිබෙන මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට අගමැතිවරයා තීරණය කළේ ඇයිදැයි බීබීසීය කළ විමසීමකදී යි.

‘දැනට ලැබී තිබෙන තොරතුරු අනුවයි එතුමා ඒ ප්‍රකාශය කළේ. වෙරළ සංරක්ෂණ ආයතනයත් නාගරික සංවර්ධන ආයතනයත් මාස ගණනක් තිස්සේ පරීක්ෂණ කරනවා මේ ගැන. පරිසරයට සිදුවන හානිය අවම කර ගෙන එය ඉදිරියට ගෙන යා හැකි බව තමයි දැනට ලැබිල තියෙන තොරතුරු.’ ඔහු පැවසීය.

Image copyright defence.lk

සිදු වී ඇති දූෂණය පිළිබඳව වෙනම යාන්ත්‍රණයක් දියත් වන අතරතුර මෙතෙක් සිදු කර ඇති ආයෝජනය අපතේ නොයවා එය ඵලදායි මාවතකට හැරවීම ආණ්ඩුවේ අරමුණ වී ඇති බව නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේය. හඬ පටය අමුණා ඇත.

‘වෙච්ච ඒවා ගැන හොයල බලන ඒක වැදගත් වෙනවා. නමුත් ඒ පලියට ව්‍යාපෘතිය අපි ඇත හරින්නේ නැහැ. ව්‍යාපෘතියට මුදල් ආයෝජනය කරලා තියෙනවා. ඒවා අපතේ යනවා. ඒ හින්ද කොහොමත් කරන්න වෙනවා. ඒක ප්‍රතිලාභ ලබන පැත්තට අපි හරවා ගන්න ඕන. දූෂණ ගැන වෙනම යාන්ත්‍රණ රට තුළ දියත් වෙනවා.’ හෙතෙම පැහැදිලි කළේය.

කොළඹ ‘පොර්ට් සිටි’ ව්‍යාපෘතියට පරිසරවේදීන්ගේ දැඩි විරෝධය එල්ල වී තිබුණු අතර පසුගිය මැතිවරණ සමයේ මෙය මහත් ආන්දෝලනයට ලක් වූ මාතෘකාවක් විය.

මේ ව්‍යාපෘතිය පසුපස දැවැන්ත කොමිස් ජාවාරමක් ද ඇති බව එජාපය මැතිවරණ වේදිකාවේ දී චෝදනා කර තිබුණි.