ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අලුත් ව්‍යවස්ථාවක්ද? සංශෝධනයක්ද? -'තීන්දුවක් නෑ'

ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්නේද, නොඑසේනම් පවතින ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ දැයි අවසාන තීන්දුවකට එළැඹි නොමැති බව පවසන ජනාධිපතිවරයා, එය තීන්දු කෙරෙන්නේ ජනතා අදහස් අනුව බව පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ බව සඳහන් කළේ, සිය පදවිප්‍රාප්තියෙන් වසරක් පිරීම නිමිති කොටගෙන කොළඹ සිටින බීබීසී වාර්තාකරු අසාම් අමීන් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

පදවිප්‍රාප්තියෙන් වසරක් ගෙවුනත්, 'ඇඟට දැනෙන කිසිවක්' සිදු වී නොමැති බවට ජනතාව නගන චෝදනාවට ප්‍රතිචාරය පළ කරන ජනපතිවරයා කියා සිටියේ වසරක ඇතුලත එවැනි වෙනසක් කළ කිසිදු රටක් නැති බවයි.

එහෙත් මේ වනවිට ශ්‍රී ලංකාවට කිසිදු සතුරු රාජ්‍යයක් නොමැති තත්වයට පත්කරගැනීමට හැකිවීම නව ආණ්ඩුව ලැබූ විශාලතම ජයග්‍රහණය බවයි, ජනපතිවරයා පවසන්නේ.

ජාතික ගැටලුව

"අද අපිට ලෝකේ කිසිම සතුරෙක් නෑ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සියලුම රාජ්‍යයන්හි ආශීර්වාදය සහ මිත්‍රත්වය අපි ගොඩනගාගෙන තිබෙනවා," ඔහු පැවසීය.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ව්‍යායාමය පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා, "මේ පිළිබඳව සංවාදයක් තියෙනවා. රටේ කොටසක් කියනවා තියන ව්‍යවස්ථාවේ වෙනස් කිරීම් කරපුවහම ඇති කියල. ඒ වගේම තවත් පිරිසක් දරන මතය තමයි අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරමු කියන එක," පැවසීය.

ව්‍යවස්ථා සම්පාදනයේදී සිය පෞද්ගලික මතය ජයග්‍රහණය කරවීමේ අවශ්‍යතාවයක් තමන්ට නොමැති බවත් ඔහු සඳහන් කළේය.

නව ව්‍යවස්ථාවකින් තොරව ජාතික ගැටලුවට විසඳුමක් ලබා දිය හැකිදැයි විමසූ අවස්ථාවේ ජනාධිපතිවරයා අවධාරණය කළේ ඒ සියල්ල සම්බන්ධයෙන් රට තුල සංවාදයක පවතිනු විනා කිසිවක් සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් නොමැති බවයි.

එමෙන්ම ව්‍යවස්ථාවකින් පමණක් ජාතික ගැටලුවට විසදුම් දිය නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

තනි පුද්ගලයකුගේ මතය මත පදනම් වී රට පාලනය කිරීම සිය ප්‍රතිපත්තිය නොවන බව අවධාරණය කරන ජනාධිපතිවරයා, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය විග්‍රහ කළේ 'රාජාණ්ඩුවක්' පිහිටුවීමක් ලෙසින්.

(ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවේ තුන්වැනි කොටස සෙනසුරාදා.)