වාර්තා කිරීමේ අයිතිය ඉල්ලා ඇඹිලිපිටියේ විරෝධතාවයක්

Image caption මාධ්‍යවේදීන් හය දෙනෙකුගේ සටහන් පොත් අධිකරණය තුළ දී පොලිස් නිලධාරියෙකු විසින් ලබා ගැනීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව පැවැත්විණි

අජිත්ලාල් ශාන්ත උදය

බීබීසී ප්‍රාදේශීය වාර්තාකරු

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට අත නොතබන ලෙස ඉල්ලමින් රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනමාධ්‍යවේදීන් පිරිසක් අද (23)ඇඹිලිපිටිය නගරයේ දී උද්ඝෝෂණයක් පැවැත්වූහ.

ඇඹිලිපිටිය නව නගරය පාරේ නිවසක පැවති සාදයක දී පොලීසිය හා සාදයට පැමිණි පිරිස අතර වු ගැටුමකින් පසු මියගිය එක් දරු පියාගේ මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය පැවැත්වුණ පසුගිය 12දින එය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් හය දෙනෙකුගේ සටහන් සහ සටහන් පොත් අධිකරණය තුළ දී පොලිස් නිලධාරියෙකු විසින් ලබා ගැනීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව පැවැත්විණි.

මාධ්‍යවේදීන්ට මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය වාර්තා කිරීමට කිසිදු තහනමක් පනවා නො තිබු අවස්ථාවක ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට දී එම මරණ පරීක්ෂණය පැවැත්වෙන අතරවාරයේ මෙම සටහන් පොත් උදුරා ගැනීම සිදුවිය.

විරෝධතාවට එක්ව සිටි සමස්ත ලංකා ජනසන්නිවේදකයනගේ සංගමයේ සභාපති කංචන කුමාර ආරියදාස පැවසුවේ මෙම සටහන් පොත් පැහැර ගැනීමෙන් සිදු කළේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය අමු අමුවේ උල්ලංඝණය කිරීමක් බවයි.

“අපේ මාධ්‍යවේදීන් ගියේ මරණ පරීක්ෂණයක තොරතුරු වාර්තා කරන්න. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තමයි එහි සාක්කි මෙහෙයෙ වූයේ. එසේ සිදු වෙද්දී මාධයවේදීන් සාක්කි සටහන් කර ගත් පොත් සහ කඩදාසි උදුරාගෙන ගියේ පොලීසියේ නිලධාරීයෙක්. ඔහුට එසේ කරන්න කවුද බලය දුන්නේ?. ඇඹිලිපිටියේදී ඝාතනය වු තරුණයාගේ මරණය සම්බන්ධ තොරතුරු දැන ගැනීමේ අයිතිය මේ සිදුවීමෙන් අහිමි කරලා තියනවා”. යනුවෙන් ඔහු පැවසීය.

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිති නියෝජිතයෙකු වූ ධර්මසිරි ලංකාපේලි කරුණු දක්වමින් පැවසුවේ ආණ්ඩුව තොරතුරු දැන ගැනීමේ අයිතිය තව තවත් තහවුරැ කිරිමට උත්සහා ගනිද්දී පොලීසිය ජනමාධ්‍යවේදීන් දඩයම් කිරීමට උත්සාහ ගන්නා බවයි.

මෙය වහාම නවත්වන ලෙස ඉල්ලමින් සහ මෙම ක්‍රියාව කළ පුද්ගලයන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන මෙන් රජයට බලකරමිනුයි මේ විරෝධතාව පැවැත්වුයේ.

ඇඹිලිපිටිය නගර සභා කාර්යාලය ඉදිරිපිටට රැස්වු මාධ්‍යවේදීන් විරෝධතා පාඨ කියමින් පොදු බස් නැවතුම් පොල ඉදිරිපිටට ගියහ. එහි ටික වේලාවක් විරෝධය දක්වා අනතුරුව ඔරලෝසු කණුව දක්වා පෙළපාලියෙන් පැමිණ එහිදී ද විරෝධය දක්වා පසුව විසිර ගියහ.

මෙම විරෝධතාව පැවැත්වෙද්දී ඔරලෝසු කණුව අසල රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හැර වෙනත් කිසිම තැනක නිල ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් කිසිවෙකුත් දැක ගැනීමට නොලැබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර