ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ප්‍රගීත්ගේ බිරිඳ පරීක්ෂණ ගැන විශේෂඥයෙක් නෙවෙයි - මෛත්‍රී

මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදු වූ බව කියන වංචා සහ දූෂණවලට එරෙහිව පියවරෙන් පියවර ක්‍රියා මාර්ග ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ එවකට සිදු වූ බව කියන වංචා සහ දූෂණ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවල මන්දගාමී ස්වභාවයක් දක්නට ලැබෙනවා නොවේදැයි බීබීසීයේ අසාම් අමීන් විමසූ අවස්ථාවේ ඊට ප්‍රතිචාර දක්වමින්.

'වංචා දූෂණ පරීක්ෂණ කියන දේවල් පැය විසිහතරෙන් ඉවර කරන්න පුළුවන් දේවල් නෙමෙයිනේ' ජනපතිවරයා සඳහන් කළේය.

වංචා දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන ඇතැම් පරීක්ෂණ යටපත් කිරීමට උත්සාහ දරන බවට නැගෙන චෝදනා ජනපතිවරයා ප්‍රතික්ෂේප කරයි.

ප්‍රගීත් එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග ඇතුළු අතුරුදහන් වූ සහ ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට ආරක්ෂක අංශ සහය නොදක්වන බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ජනපතිවරයා පැවසීය.

මාධ්‍යවේදීන්ගේ ඝාතන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයන්ගේ සහාය ජනපතිවරයා වෙත ලැබී ඇත්දැයි විමසූ අවස්ථාවේ ඔහි කියා සිටියේ පළමුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතු බවයි.

පළාත් පාලන මැතිවරණයට මුහුණ දීම සඳහා පක්ෂයේ සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත් ජනපතිවරයා සඳහන් කළේය.

ජනපති ධුරයට පත් වීමෙන් අනතුරුව නිර්පක්ෂිකව කටයුතු කරන බව පැවැසූ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය බාර ගැනීමත් සමග රටේ බහුතරයක් සහාය ලබා දුන් පොදු වැඩසටහන අවදානමකට ලක් වී ඇත්දැයි සංදේශය ජනපතිවරයාගෙන් විමසා සිටියේය.

''ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම බාර ගත්තේ නැතිනම් 19 වැනි සංශෝධනය සම්මත කර ගන්න පුලුවන්ද?, දින සියයේ වැඩපිළිවල ක්‍රියාත්මක කරන්න පුලුවන්ද?''

මහමැතිවරණයෙන් පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් නැවත පාර්ලිමේන්තුවට පත් කිරීමට ගත් තීන්දුව ජනපතිවරයා සාධාරණීකරණය කළේය.

ශ්‍රීලනිපය

''පරාජිත මන්ත්‍රීවරු කියන අය පැරදුණේ කොහොමද? ඒගොල්ලන්ව පරද්දුවේ එක්සත් ජාතික පක්ෂයෙන් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක්ම තමයි ඒ ගොල්ලන්ව සංවිධානාත්මකව පරද්දුවේ. ඒ ගොල්ලෝ මාත් එක්ක හිතවත්ව හිටපු අය''

හිටපු ජනපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් දක්වන අදහස විමසූ අවස්ථාවේ ජනපතිවරයා කියා සිටියේ තමා ඒ පිළිබඳ සොයා නොබලන බවයි.

''ඒක ඉතින් එයානේ දැන ගන්න ඕනි. මම මොකටද එයාගේ අනාගතේ පිළිබඳ පේන බලන්නේ. මට තියෙන්නේ මගේ රට සහ ජනතාව ගැන බලන ඒක. මට පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයක් නැහැනේ''

මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කොට හිටපු ජනපතිවරයාගේ නායකත්වයෙන් නව පක්ෂයක් නිර්මාණය කරන බවට පළ වන වාර්තා පිළිබඳ අදහස් දක්වමින් ජනපතිවරයා කියා සිටියේ එවැනි ක්‍රියාමාර්ග තමාට අදාළ නොවන බවයි.

''ඒවා කිසිම දෙයක් මට අදාළ නැහැ. ඒවා බොහොම ප්‍රාථමික කාරණා. අපි මොකටද ඒවා පස්සේ යන්නේ.'' විධායක ජනපති ධුරය අහෝසි වූ විටකදී සිය ඉදිරි දේශපාලන ජීවිතය කෙබඳු වේවිදැයි ජනපතිවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ තමා රටේ වර්තමාන තත්වය පිළිබඳ පමණක් අවධානය යොමු කොට ක්‍රියා කරන බවයි.

''මම රටේ හෙට දවසයි බලන්නේ. මගේ හෙට දවස නොවෙයි. ඒ නිසා මගේ කේන්දරය බලන්න, මම වෙනුවෙන් පේන බලන්න අවශ්‍ය නැහැ. මට තියෙන්නේ රට වෙනුවෙන් කළ යුතු වගකීම ඉෂ්ට කරන්න. ඒකයි මම කරන්නේ'' ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වැඩිදුරටත් කියා සිටියේය.