ගවේෂණශීලී මාධ්‍ය කලාව: 'දුෂ්කරයි, ඒත් සතුටෙන්'

Image caption ගවේෂණශීලී මාධ්‍යවේදීන්ට සහතික පිරිනැමීමේ උත්සවයකට පවා පසුගිය රජය සමයේ තර්ජන එල්ල විය

ගවේෂණශීලී මාධ්‍ය කලාවට යොමුවීමේ ප්‍රතිඵලයක් ලෙසින් ප්‍රසිද්ධ ජීවිතයක් ගතකිරීමේ අවස්තාව අහිමි වී ඇතත් ඒ පිළිබඳව කිසිදු කනගාටුවක් නැති බව ගවේෂණාත්මක මාධ්‍යවේදිනී දිනිතා රත්නායක පවසයි.

"අපේ පෞද්ගලික ජීවිතය පවා බොහොම සීමාවෙච්ච ජීවිතයක්. අපිට අසන්නන් ඉදිරියට යන්න බෑ. හැබැයි අපි තෘප්තිමත්," ඇය පවසන්නීය.

නෙත් එෆ්එම් ගුවන් විදුලියේ බැලුම්ගල වැඩසටහනේ සම්පාදිකාව දිනිතා රත්නායක ඒ බව කියා සිටියේ, ලන්ඩන් නුවර බීබීසී මැදිරියේදී බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

ලන්ඩනය මූලස්ථාන කරගත් තොම්සන් පදනම විසින් වසරේ හොඳම ගවේෂණාත්මක වැඩසටහන ලෙසින් තෝරාගැනීමෙන් අනතුරුවයි ඇයට ලන්ඩනයේ සංචාරය කිරීමේ අවස්ථාව හිමි වී තිබුණේ.

"ඇත්තටම මේක ලේසි පහසු වැඩක් නෙවෙයි," ඇය පැවසීය.

Image caption එල්ටීටීඊ ආධාරකරුවන්ය යන්න පසුගිය ආණ්ඩුව සමයේ බොහෝ ආණ්ඩු විරෝධීන්ට එල්ල වූ චෝදනාවක්

ගවේෂණශීලී මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරි මාසයේ කොළඹදී ඝාතනය කෙරුණු අතර, ගවේෂණශීලී මාධ්‍යවේදීන්ට සහතික පිරිනැමීමේ උත්සවයකට පවා පසුගිය රජය සමයේ තර්ජන එල්ල විය.

"සමහර වෙලාවට අපි ගැන පොලිසියට වැඩි විශ්වාසයක් ජනතාව අතරෙ තියනවා මොකද මොකක් හරි වුනොත් බැලුම්ගලට කිවුවොත් මේක කෙරෙයි කියන විශ්වාසය තියනවා." ( සාකච්ඡාවට සවන්දෙන්න)

ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් ගවේෂණාත්මක මාධ්‍ය කලාව වෙත යොමු නොවීමට පසුගිය පාලන සමයේ එල්ල වූ තර්ජන ප්‍රධාන හේතුවක් බව පිළිගන්නා ඇය, එයට තවත් ප්‍රධාන හේතුවක් පවතින බව පෙන්වා දෙන්නීය.

"ගොඩක් වෙලාවට ඒ කටයුත්ත කරන්න බොහොම අපහසුයි. මොකද සෑහෙන කාලයක් ගවේෂණය කරන්න සිද්ද වෙනව. අවුරුදු ගණන් සමහර වෙලාවට."

එහෙත් ඒ දුෂ්කර රාජකාරිය වෙනුවෙන් ඔවුන්ට ලැබෙන ප්‍රතිචාරය ප්‍රශංසා පමණක්මත් නොවේ.

Image caption ගවේෂණශීලී මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරි මාසයේ කොළඹදී ඝාතනය කෙරිණ

"ගොඩක් වෙලාවට අපිට ගල් මුල් ප්‍රහාර වැඩිපුර ලැබෙන බව තමයි කියන්න තියෙන්නේ."

කෙසේ නමුත් කිසියම් ගවේෂණයක් යනු ඇතැම්විට කිසිවෙකුගේ පුද්ගලික ජීවිතයට ඇඟිලි ගැසීමක් විය නොහැකිද?

"අනිවාර්යයෙන්. ඒ නිසා තමයි මම කිවුවේ අපි නිවැරදි තොරතුරු තහවුරු කරගත යුතුයි. ඒ නිසා ලොකු වගකීමක් තියෙනව. බොහොම සංකීර්ණ වැඩක් කරනවා කිවුවොත් නිවැරදියි."

එහි ප්‍රතිඵලයක් ලෙසින් ප්‍රසිද්ධියේ හැසිරීමේ සියලු අවස්ථා ඇසිරී තිබුණත් ඒ පිළිබඳව 'දුකක් නැති' බවයි දිනිතා රත්නායක සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කළේ.