වීරවංශ සහ ගම්මන්පිල සමග සන්ධාන නැහැ - ශ්‍රීලනිපය

Image copyright Getty
Image caption ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්ගේ ඉල්ලීම හමුවේ නිසැක වශයෙන්ම නව දේශපාලන පෙරමුණක් බිහි වන බවයි

නැවත වරක් ශ්‍රී ලංකාව යුද්ධයකට ඇද දැමීමට උත්සහ දරන ජාතිවාදී පක්ෂ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත නොවන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි.

හිටපු ඇමති විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ සහ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාගේ පිවිතුරු හෙළ උරුමය ජාතිවාදය යොදා ගනිමින් දේශපාලනය සිදු කරන බවටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා චෝදනා කරන්නේ.

"ස්ථිර වශයෙන්ම උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාගේ හා විමල් විරවංශ මන්ත්‍රීවරයාගේ පක්ෂ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වෙන්නේ නැහැ. මේ මහා ජාතිවාදී මඩ ගොහොරුවට නැවත වරක් මේ රට ඇතුළු කරලා ලේ විලක් කරන්න යන ඒ පක්ෂ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාගතයේදී සන්ධාන ගත වන්නේ නැහැ" අමාත්‍යවරයා කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ජාතික නිදහස් පෙරමුණේ සහ පිවිතුරු හෙළ උරුමයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දවලින් බව පැවසූ ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා එම පක්ෂවලට ජනතා පිළිගැනීමක් නොමැති බවයි සඳහන් කළේ.

මේ අතර අඟහරුවාදා මාධ්‍යය වෙත අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්ගේ ඉල්ලීම හමුවේ නිසැක වශයෙන්ම නව දේශපාලන පෙරමුණක් බිහි වන බවයි.

නව පක්ෂයක්?

Image copyright Getty
Image caption "ඒ නිසා තමයි පාක්ෂික බලවේග කියන්නේ ඒ නායකත්වය අත්හැරලා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ නව දේශපාලන පෙරමුණක් බිහි කරන්න කියලා"

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ තිබෙන තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ භූමිකාව ඉටු කරන්න එම පක්ෂයටත් පාක්ෂික බලවේගවලටත් බැහැ"

"ඒ නිසා තමයි පාක්ෂික බලවේග කියන්නේ ඒ නායකත්වය අත්හැරලා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ නව දේශපාලන පෙරමුණක් බිහි කරන්න කියලා"

නව දේශපාලන පෙරමුණ බිහි වීම අනිවාර්ය බව අවධාරණය කළ විමල් වීරවංශ මන්ත්‍රීවරයා එහි තොරතුරු අවශ්‍ය විටදී රටට හෙළි කරන බවයි සඳහන් කළේ.

හිටපු ඇමති විමල් වීරවංශ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එක් වී නව දේශපාලන පෙරමුණක් පිළිබඳ ඉඟි පළ කරද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන අමාත්‍ය අනුරප්‍රියදර්ශන යාපා පෙන්වා දෙන්නේ නව පක්ෂයක් පිහිටුවීමෙන් දෙපාර්ශවයට වාසියක් අත් නොවන බවයි.

"පක්ෂයක් බෙදුනම හෝ අලුත් පක්ෂයක් ඇති වුණාම වාසිය හම්බවෙන්නේ අපි දෙපාර්ශවයටම නෙවෙයි. තවත් දේශපාලන පක්ෂයකට"

පක්ෂයක් යනු තනි පුද්ගලයෙකුට අයිති දෙයක් නොව ජනතාවට අයිති දෙයක් බවයි අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අවධාරණය කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර