'අපේ මුහුද අපට දෙන්න'

මන්නාරම මුහුදු තීරයට ඉන්දීය ධීවරයින් බලහත්කාරයෙන් පැමිණීම නතර කර දෙන මෙන් ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කිරීමට මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කමිටුව තීරණය කොට තිබේ.

ඉන්දීය ධීවරයින්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සංවර්ධන කමිටුවක් ශ්‍රී ලංකාවේදී පලමු වතාවට මෙවැනි තීරණයක් ගැනීම පිළිබදව එම කමිටුවේ සභාපති කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාර්ඩ් බදුයුදීන්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ යුද්ධයෙන් විපතට පත් වැසියන්ට සහන සලසන බවට ඉන්දියාව නිතර නිතර පවසන්නේ නම් මුලින්ම කළ යුත්තේ යුද්ධයෙන් පීඩාවට පත් මන්නාරමේ ධීවරයින්ට නිදහසේ ධීවර කර්මාන්තය සිදු කිරීමට ඉඩදී නිහඩව සිටීම බවයි.

බලහත්කාරයෙන් පැමිණෙන ඉන්දීය ධීවරයින් විවිධ අවස්ථාවල දී අත් අඩංගුවට ගනු ලැබුවත් ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර පවතින දැඩි මිත්‍ර සම්බන්ධකම නිසා ඔවුන් ඉතා ඉක්මනින් නිදහස ලබන බව කී අමාත්‍යවරයා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට යන රාජ්‍ය තාන්ත්‍රිකයින් ඉන්දියාවේදීත්, ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් සමග ශ්‍රී ලංකාවේදීත් අවස්ථා ගණනාවක් ම සාකච්ඡා වී ඇති නමුත් මෙතෙක් කිසිදු ප්‍රතිඵලයක් අයත් වී නොමැති බවද කියා සිටියේය.

Image copyright EPA

සමස්ත උතුරු ප්‍රදේශයටම ඉන්දීය ධීවරයින් පැමිණෙන අවස්ථාවක මන්නාරමට පමණක් ඔවුන් පැමිණීම වළක්වා දෙන මෙන් ඉන්දීය රජයෙන් ඉල්ලා සිටීම අසාධාරණ නොවන්නේදැයි විමසූ විට අමාත්‍යවරයා කියා සිටියේ මන්නාරමේ ධීවරයින්ට සිදුවන අලාභය ඉතාම ඉහල බවයි.

එමෙන්ම අනෙකුත් සංවර්ධන කමිටු විසින් ද සිය ප්‍රශ්න ගැන ඉල්ලීම් ඉදිරි කාලයේදී සිදුකරණු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා මෙන්ම අනෙකුත් ඉහල පෙලේ පිරිස් ඉන්දීය අග්‍රාමාත්‍ය‍වරයා සමග සාකච්ඡා කිරීමෙන් පවා ඉන්දීය ධීවරයින්ගේ ප්‍රශ්නයට විසදුමක් සොයා ගැනීමට නොහැකිව තිබියදී දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ ඉල්ලීමට කවර ප්‍රතිචාරයක් ලැබේදැයි විමසූ අවස්ථාවේ දී අමාත්‍යවරයා පැවසුවේ මහජනතාවගේ සුබසිද්ධිය වෙණුවෙන් පිහිටුවා ගන්නා ලද දිස්ත්‍රික් සංවර්ධන කමිටුව විසින් කරණු ලබන ඉල්ලීම් ගැන අවධානයක් යොමු වීම ඉතා අවශ්‍ය බවයි.

Image copyright Reuters
Image caption රැඳවුම් භාරයෙන් නිදහස ලැබූ ඉන්දීය ධීවර පිරිසක්

ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ නායක හර්මන් කුමාර මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කමිටුව විසින් ගත් මෙම තීරණය අගය කිරීමකට ලක් කළ අතර එවැනි ඉල්ලීම් යෝජනා ඉදිරිපත් වීම මෙම ප්‍රශ්නයේ ගැඹුර සෙසු පිරිස ඉතා හොඳින් දැන ගැනීමට අවස්ථාවක් වන බවද කියා සිටියේය.

නමුත් යාපනයේ ධීවර සමීති නායකයින් කියා සිටියේ ඉහළ පෙලේ සාකච්ඡා වලින් මෙම ප්‍රශ්නයට විසදුමක් ලැබී නොමැති මොහොතක සංවර්ධන සභාවකින් කෙරෙන ඉල්ලීම් ඉටු වෙතැයි කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකි බවයි.