‘උසාවිය නියෝග කළත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැහැ’

සුමිත් ප්‍රසන්න ජයවර්ධන එක් දරු පියාගේ මරණය සම්බන්ධයෙන් සැක කෙරෙන පොලිස් නිලධාරීන් වහාම අත්අඩංගුවට ගන්නා මෙන් ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රා ත්වරයා නියෝගයක් දී පැය විසි හතරකට අධික කාලයක් ගත වී ඇතත් පොලිස් මූලස්ථානයේ සේවය කරන අදාළ සැකකරුවන් තවමත් අත්අඩංගුවට ගෙන නැතැයි අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා චෝදනා කරයි.

අධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීමට තරම් පොලිසිය බලවත් වීම ගැන තමන් කණගාටු වන බවයි නීතිඥ විජිත ජී පුංචිහේවා පවසන්නේ.

පසුගිය හතර වෙනි දා රාත්‍රියේ ඇඹිලිපිටියේ නිවසක සාදයක් පවතින අතරවාරයේ පොලිසිය ඊට මැදිහත් වූ අවස්ථාවේ මරණයට පත් එක් දරු පියාගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය නිද්‍රාශීලීව කටයුතු කරන්නේ ඉහළ පොලිස් නිලධාරියෙකුගේ මැදිහත් වීමක් ඇති නිසා වන බවටත් නීතිඥ විජිත ජී පුංචිහේවා චෝදනා කරයි.

නීතිඥ විජිත ජී පුංචිහේවා කරන ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාරය විමසීම සඳහා පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය මෙතෙක් අසාර්ථක විය.