'සිකා වෛරසයෙන් ශ්‍රී ලංකාවට තර්ජනයක් නැහැ'

Image copyright ITN
Image caption 'බොහෝ දෙනකුට රෝග ලක්ෂණ ඇති වෙන්නේ නැහැ. භෝ දෙනකුට නිකන්ම සුව වෙලා යන රෝගී තත්වයක්.'

බ්‍රසීලය තුළ සීග්‍ර ලෙස පැතිර යමින් තිබෙන 'සිකා' වෛරසයෙන් ශ්‍රී ලංකාවට තර්ජනයක් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන පවසයි.

'සිකා' වෛරසය කැනඩාව සහ චිලී රාජ්‍ය හැර ඇමරිකානු මහද්වීපය පුරා පැතිර යනු යාමට ඉඩකඩ ඇති බවට ලෝක සෞඛ්‍යය සංවිධානය අනතුරු අඟවා ඇත.

ඩෙංගු රෝග වාහක මදුරු විශේෂයක් හරහා සිකා වෛරසය පැතිරෙන අතර එය පැතිරෙමින් පවතින රටවලින් සංචාරකයන් අඩු වශයෙන් පැමිණෙන හෙයින් ශ්‍රී ලංකාව තුළ එය ව්‍යාප්ත වීමේ අවදානම අවම මට්ටමක පවතින බවයි විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දෙන්නේ.

යම් හෙයකින් සිකා වෛරසය ශ්‍රී ලංකාවට පැමිණියහොත් ඒ බව පහසුවෙන් හඳුනා ගත හැකි ඉහළ මට්ටමේ සෞඛ්‍යය පද්ධතියක් රට තුළ ක්‍රියාත්මක වන බවත් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන සඳහන් කළාය.

'අලුතෙන් ඇතිවන රෝග තත්වයක් අපේ රටට ආවොත් ප්‍රතිකාර ගැනීම සඳහා යොමු වන අවස්ථාවේ ඒ බව හඳුනා ගැනීමේ ක්‍රමවේදය අප රට තුළ හොදින් ක්‍රියාත්මක වෙනවා' ඇය කියා සිටියාය.

අබාධිත දරු උපත්

Image copyright Getty
Image caption 'දරුවන්ගේ හිස් කබල කුඩාවට පිහිටීම වෙනත් බොහෝ රෝග නිසා ඇතිවිය හැකි තත්වයක්. එවැනි උපත්වලට සිකා වෛරසය බලපා ඇති බව වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණවලින් මෙතෙක් තහවුරු වෙලා නැහැ'

'සිකා' වෛරසයේ බලපෑමෙන් මොළය ඌන වශයෙන් වර්ධනය වූ දරු උපත් දහස් ගණනක් වාර්තා වී ඇති බවට වාර්තා පළ වන නමුත් එවැනි දරු උපත් හා වෛරසය අතර නිශ්චිත සම්බන්ධයක් පවතින්නේ දැයි යන්න විද්‍යාත්මකව තහවුරු කොට නොමැති බවයි විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන පවසන්නේ.

මොළය ඌන වශයෙන් වර්ධනය වූ දරුවන් බිහි වීමේ අවදානම් තත්වය හේතුවෙන්, ගැබ් ගැනීමෙන් වැළකී සිටින ලෙස ඇතැම් රටවල් කාන්තාවන්ට අනතුරු හඟවා තිබෙන බවත් පසුගියදා වාර්තා විය.

'දරුවන්ගේ හිස් කබල කුඩාවට පිහිටීම වෙනත් බොහෝ රෝග නිසා ඇතිවිය හැකි තත්වයක්. එවැනි උපත්වලට සිකා වෛරසය බලපා ඇති බව වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණවලින් මෙතෙක් තහවුරු වෙලා නැහැ' වෛද්‍යවරිය පැවසීය.

Image copyright Reuters
Image caption මොළය ඌන වශයෙන් වර්ධනය වූ දරුවන් බිහි වීමේ අවදානම් තත්වය හේතුවෙන්, ගැබ් ගැනීමෙන් වැළකී සිටින ලෙස ඇතැම් රටවල් කාන්තාවන්ට අනතුරු හඟවා තිබෙන බවත් පසුගියදා වාර්තා විය.

මද උන, හන්දිපත් වේදනාව, ඇස් රතුවීම සහ හිසරදය වෛරසය ආසාදනය වීමේ රෝග ලක්ෂණයි.

'සිකා' වෛරසය සාමාන්‍ය උන රෝගයක් ලෙස හඳුන්වන වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂවරිය බොහෝ විට ස්වාභාවිකවම රෝගී තත්වය සුව වන බවත් සඳහන් කරයි.

'බොහෝ දෙනකුට රෝග ලක්ෂණ ඇති වෙන්නේ නැහැ. බොහෝ දෙනකුට නිකන්ම සුව වෙලා යන රෝගී තත්වයක්. උණ සමනය කර ගන්න පැරසිටමෝල් වැනි ඖෂධයක් තමයි අවශ්‍ය වෙන්නේ' වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන වැඩිදුරටත් කියා සිටියාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර