ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'ශ්‍රී ලංකාව නැවතත් ලොව ප්‍රමුඛතම ක්‍රිකට් කණ්ඩායමක් කරනවා'

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් සිය මාස 45 ක ගිවිසුම් කාලය අරම්භ කරමින් ඊයේ(සඳුදා) ශ්‍රී ලංකාවට පැමිණියේය.

අද, අඟහරුවාදා උදෑසන කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවට එක්වූ ග්‍රැහැම් ෆෝඩ් කියා සිටියේ මේ වන විට තාවකාලික පසුබිමක සිටින ශ්‍රී ලංකා කණ්ඩායම නැවත වරක් ලෝකයේ ප්‍රමුඛතම ක්‍රිකට් කණ්ඩායම් අතරට එක් කිරීම සිය බලාපොරොත්තුව බවයි.

2012 වසරේ සිට 2014 වසර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අත්දැකීමෙන් ශ්‍රී ලංකාවේ දක්ෂ තරුණ ක්‍රීඩකයන් රැසක් සිටින බව තමන්ට පැවසිය හැකි බවයි ග්‍රැහැම් ෆෝඩ් සඳහන් කළේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩනැගීමේ වගකීම තමන් බාර ගන්නා බව කියා සිටි නව පුහුණු කරු එය විශාල අභියෝගයක් වනු ඇති බවද පැවසුවේය.

ඒ සඳහා යම් කාලයක් ගත විය හැකි බව පෙන්වා දුන් ග්‍රැහැම් ෆෝඩ් ඉවසීමෙන් කටයුතු කරන ලෙස සියළු පාර්ශව වෙතින් ඉල්ලීමක් ද සිදු කළේය.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ඇතළු හිටපු ක්‍රීඩකයන් සමගද සාකච්ඡා කිරීමෙන් අනතුරුව තමන් මෙම තනතුර බාර ගත් බවයි ඔහු කියා සිටියේ.

'ගැළපෙන පුහුණුකරුවා'

ලෝකයේ ප්‍රබල පුහුණුකරුවන් 12 දෙනකු සමග පමණ සාකච්ඡා කර අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ගැළපෙන පුහුණුකරුවා ලෙස ග්‍රැහැම් ෆෝඩ් තෝරා ගත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ සභාපති තිලංග සුමතිපාල පැවසුවේ.

ග්‍රැහැම් ෆෝඩ්ට මාස 45ක කොන්ත්‍රාත් කාලයක් ලබා දීමෙන් එංගලන්තයේ පැවැත්වෙන 2019 ලෝක කුසලානය දක්වා කණ්ඩායම ගොඩනැගීමේ අවස්ථාව ඔහුට ලබා දිය හැකි වන බවයි ක්‍රිකට් සභාපතිවරයා වැඩි දුරටත් පැවසුවේ.

ඉදිරියේ පැවැත්වෙන ආසියානු කුසලානය සහ විස්සයි විස්ස ලෝක කුසලානයේ නායකයා ලෙස ලසිත් මාලිංග ද උපනායකයා ලෙස ඇන්ජෙලෝ ,මැතිව්ස්ද පත් කල බවත් තිලංග සුමතිපාල විසින් මෙහිදී නිවේදනය කෙරිණ.

ඊට අමතරව දිනේෂ් චන්දිමාල්ද නායකයන්ට සහය වනු ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය ලබන 9 වැනිදා ආරම්භ වන අතර ආබාද හේතුවෙන් ලසිත් මාලිංග හා ඇන්ජෙලෝ මැතිව්ස් එම තරගාවලියට එක් නොවේ.