රජීව් ගාන්ධි ඝාතන වරදකරුවන්ට පොදු සමාව?

Image copyright AP
Image caption රජීව් ගාන්ධි ඝාතන නඩුවට සැක කරුවන් ලෙස මුරුගන් සහ නාලිනි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාව

ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වී වසර විසිපහක් තිස්සේ බන්ධනාගාරගතව සිටින චූදිතයින් හය දෙනාට පොදු සමාවක් යටතේ නිදහස ලබාගැනීම පිණිස අත්සන් දසලක්ෂයක පෙත්සමක් ඉන්දීය අගමැතිවරයා වෙත ඉදිරිපත් කිරීමට එක් චූදිතයෙකුගේ මවක් යාපනයේ සිට උත්සාහයක නිරත වෙයි.

දැනට ඉන්දීය බන්ධනාගාරයක සිටින මුරුගන් නැමැති චූදිතයා කිළිනොච්චියේ පලෙයි පළාතේ පදිංචි කරුවකු වන අතර ඔහුගේ මව වන වෙට්‍රිවේල් සෝමනී එම පෙත්සම අත්සන් කිරීම ආරම්භ කොට තිබේ.

ඇය කියා සිටින්නේ ලෝකයේ බරපතළ ගණයේ අපරාධ කරුවන් රැසකටම ඒ ඒ රටවල රාජ්‍ය නායකයින් විසින් සමාව දී ඇති අවස්ථා ගණනාවක් දැකිය හැකි බැවින් රජීව් ගාන්ධි ඝාතනයේ සැකකරුවන්ටත් වත්මන් ඉන්දීය අගමැතිවරයා සමාව දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරණ බවයි.

ඉන්දියාව තුළ විවිධ මතභේද

Image caption වෙට්‍රිවේල් සෝමනී

මෙවැනි පෙත්සමක් අත්සන් කිරීම තුළින් යම් සහනයක් ඉන්දීය රජයෙන් ලබා ගැනීමට හැකි වේ දැයි ජේෂ්ඨ නීතිවේදී ආර් රත්නවේල් ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ මෙම නඩු විභාගය පිළිබඳ ඉන්දියාව තුළ විවිධ මතභේද ඇති බවයි.

එමෙන්ම චූදිතයින් වසර විසි පහකට වඩා සිර දඬුවම් විදිමින් සිටින නිසා ඔවුන්ට යම් සමාවක් ලබා දෙන මෙන් ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කිරීම සාධාරණ බවයි ඔහු පවසන්නේ.

තමිල්නාඩු රජය මගින් අධිකරණයට මේ සම්බන්ධයෙන් පෙත්සමක් ඉදිරිපත් කොට යම් ආඥාවක් ලබා ගෙන තිබීම සහ සැකකරුවන්ට වධහිංසා කොට යම් යම් පාපොච්චාරණ ලබාගත් බවට ඉන්දීය ජේෂ්ඨ පොලිස් නිලධාරීන් විසින් කොට ඇති ප්‍රකාශයන් මෙහිදී වැදගත් වන බවයි නීතිඥ ආර් රත්නවේල් කියා සිටියේ.

ඉන්දීය නව රජය මහජන ඉල්ලීම් වලට ඇහුම්කන්දීමේ නව ප්‍රවණතාවක් ඇති බැවින් පෙත්සම වෙනුවෙන් යම් සාධාරණයක් ඉටු විය හැකි බවයි ඔහුගේ අදහස.