ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යෝෂිතගේ විදෙස් ගමන් ගැන පරීක්‍ෂණයක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් ලුතිනන් යෝෂිත රාජපක්ෂ, නාවික හමුදාවේ අවසරයකින් තොරව විදේශ ගමන් යාම පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන බව ආරක්ෂක ලේකම් පවසයි.

යෝෂිත රාජපක්ෂ හැත්තෑවකට අධික විදේශ ගමන් ප්‍රමාණයක් සිදු කර ඇති අතර එයින් නාවික හමුදාපතිවරයාගේ අවසරය ලැබී ඇත්තේ ගමන් වාර හතලිස් ගණනකට පමණක් බවයි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පවසන්නේ.

මේ පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ආරක්ෂක අමාත්‍යංශය නාවික හමුදාපතිවරයාට දැනුම් දුන් බව ආරක්ෂක ලේකම්වරයා සනාථ කළේ බීබීසීයේ තිසර රතුවිතාන සමඟ කළ සාකච්ඡාවක දීයි.

Image copyright b
Image caption ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි

නාවික හමුදාව මේ වන විටත් මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවයි ඔහු පවසන්නේ.

අවසරයකින් තොරව විදෙස් ගමන් යාම පිළිබඳව වසරක් ගත වන තුරුත් පරීක්ෂණයක් පැවැත් වීමට අපොහොසත් වූයේ මන්දැ’යි බීබීසීය කළ විමසීමේදී ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ යෝෂිත රාජපක්ෂ එවකට ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත කර සිටි බවයි.

‘ඒක නිසා නාවික හමුදාපතිවරයාගෙන් අවසර ගන්නේ නැතුව සංචාරවල යෙදී ඇති බවයි පෙනෙන්නේ. ඊට පස්සේ මෑත කාලයේ තමයි ඒ ගැන ප්‍රශ්න ඇති වෙලා ඒ පිළිබඳව පරීක්ෂා කරන්න කටයුතු කළේ. නාවික හමුදාව තමයි මේ විමර්ශනය කරන්නේ. දැනට එය ආරම්භ වී තියෙනවා.’ ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

සම්පුර්ණ සාකච්ඡාවේ හඬ පටය අමුණා ඇත.