කේපී ගැන පරීක්ෂණවලට ඉන්දීය සහාය?

Image copyright Interpol India
Image caption පෙත්සම්කාර පාර්ශවය අධිකරණයේ කරුණු දක්වමින් කියා සිටියේ ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් කුමරන් පද්මනාදන් අත්අඩංගුවට ගන්නැයි දන්වා ඉන්දීය අධිකරණය වරෙන්තු නිකුත් කර ඇති බවයි.

කොටි සංවිධානයේ හිටපු නායකයකු වන කුමරන් පද්මනාදන් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට ඉන්දීය පොලිසියේ සහාය ලබා ගන්නැයි පෙත්සම්කාර පාර්ශවය කළයෝජනාව සම්බන්ධයෙන් විමර්ශන අංශ අවධානය යොමු කිරිම වැදගත් බව අභියාචනාධිකරණය ප්‍රකාශ කොට ඇත.

විනිශ්චය මණ්ඩලයේ සභාපති විනිසුරුවරයා ඒ බව ප්‍රකාශ කළේ කුමරන් පද්මනාදන් හෙවත් කේපී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ පෙත්සමක් අද බදාදා කැඳවූ අවස්ථාවේදී.

එහිදී වැඩබලන නීතිපතිවරයා අධිකරණය හමුවේ කියා සිටියේ කුමරන් පද්මනාදන් කොටි සංවිධානය විසින් සිදු කරනු ලැබූ අපරාධ ක්‍රියාවලට සම්බන්ධ වී ඇත්දැයි යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි.

ත්‍රස්ත මර්දන කාර්යාංශය මගින් අදාළ විමර්ශනය සිදු කරන බව නීතිපතිවරයා අධිකරණයට දැන්වූ බවයි පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥ සුනිල් වටගල සඳහන් කළේ.

රජීව් ඝාතනය

පෙත්සම්කාර පාර්ශවය අධිකරණයේ කරුණු දක්වමින් කියා සිටියේ ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් කුමරන් පද්මනාදන් අත්අඩංගුවට ගන්නැයි දන්වා ඉන්දීය අධිකරණය වරෙන්තු නිකුත් කර ඇති බවයි.

එබැවින් කුමරන් පද්මනාදන් හෙවත් කේපී සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිදු කරන පරීක්ෂණ සඳහා ඉන්දීය පොලිසියේ සහාය ලබාගත යුතු බවයි පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට දන්වා සිටියේ.

එම අවස්ථාවේ විනිශ්චය මණ්ඩලයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ පැවසුවේ ඒ පිළිබඳ විමර්ශන අංශ නිසි අවධානය යොමු කිරීම වැදගත් බවයි.

අනතුරුව පෙත්සම මැයි මස 9 වනදාට කල් තැබූ අධිකරණය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි නීතිපතිවරයාට නියම කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර