'වකුගඩු ජාවාරම': වෛද්‍යවරුන් හඳුනාගෙන -රාජිත

ශ්‍රී ලංකාවේ සිදු වූ බව පැවසෙන වකුගඩු ජාවාරම පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුව විසින් ඊට අදාළ වෛද්‍යවරුන් සහ රෝහල් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉලීමක් කර ඇති බවයි ඔහු පවසන්නේ.

‘ඔක්කොම හඳුනගෙන තියෙනවා, වෛද්‍යවරුන් හඳුනා ගෙන තියෙනවා, අනිත් මිනිස්සුත් හඳුනගෙන තියෙනවා. හැබැයි මේකේ හුඟක් විමර්ශන කරන්න වෙන්නේ රහස් පොලිසිය මගින්. ඒ සඳහා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලිව්වා පොලිස්පති තුමාට. මමත් ජාත්‍යන්තර පොලිසියට කතා කරලා තියෙන්නේ. ඒගොල්ලෝ ජාත්‍යන්තර පොලිසියත් එක්ක එකතු වෙලා විමර්ශන කරනවා. රෝහල් ටිකත් හඳුනගෙන තියෙනවා මේ විමර්ශන වාර්තාවෙන්.’ රාජිත සේනාරත්න ඇමතිවරයා බීබීසීයට පැවසීය.

Image copyright Getty

කෙසේ නමුත් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසියේ සහය ඇතිව පරීක්‍ෂණයක් සිදු කර සත්‍යය හෙළිදරව් කර ගන්නා තුරු නිගමනයකට පැමිණිය නොහැකි බවයි ඇමතිවරයා සංදේශයට කියා සිටියේ.

‘මේ තොරතුරු පිළිබඳව තවම තියෙන්නේ පුවත් පත් වාර්තා විතරයිනේ. අපිට ඉන්දීය රජය දන්වලත් නැහැ.’ ඔහු පැවසීය.

මාධ්‍ය වාර්තා පළ වීමෙන් පසුව ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද පංච පුද්ගල කමිටුව අද සිය වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයට භාර දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු සොයා බලා සෞඛ්‍ය අමාත්‍යංශයට වාර්තා කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව ක්‍රියා මාර්ගයක් ගන්නා බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.