ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සැමට ඇහුම්කන් දෙනවා - එජා මානව හිමිකම් ප්‍රධානී

ශ්‍රී ලංකාවේ සියලු ජන ප්‍රජාවන්ට අයත් නියෝජිතයන් හමු වන බවත් ඔවුන්ට තමා සමග පැවසීමට ඇති කරුණු සියල්ලට ඇහුම්කන් දෙන බවත් ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සයිඩ් රාඩ් අල් හුසේන් ප්‍රකාශ කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක් ආරම්භ කරමින්.

''ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා. මේ මගේ පළමු ශ්‍රී ලංකා සංචාරය. මම ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්තෙන් සිටියේ. රජයේ ඉහලම නිලධාරීන් සහ සියලුම ජනවර්ගවල නියෝජිතයන් මුණ ගැසීමට මම බලාපොරොත්තු වෙනවා. ඉදිරි දින කීපය තුළ ඉතා සාධනීය සාකච්ඡාවල නිරත වීමට මම බලාපොරොත්තු වෙනවා. සංචාරය අවසානයේදී ජනමාධ්‍ය සමග පුළුල් සාකච්ඡාවක නිරත වීමට බලාපොරොත්තු වෙනවා. ''

ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිදු කරන ලද ආරාධනයක් පිළිගනිමින් මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව බලා පැමිණි බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

යුද්ධය

හුසේන් කුමරු සිය සංචාරය අතරතුරදී ජනපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායකවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ රජයේ ඉහළ පෙළ නියෝජිතයින් කීපෙදෙනකු හමු වී නිල මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

මේ අතර යුද්ධයේ දී මානව හිමිකම් කඩ වූ බවට ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විභාග කිරීමේ ක්‍රියාවලිය විමසා බැලීම පිණිස විදෙස් විනිසුරුවරුන් හෝ අධිකරණ ක්‍රියාවලියක හෝ මැදිහත් වීමක් හෝ , විශේෂඥයන් ''ආනයනය'' කිරීමේ අවශ්‍යතාවක් නැති බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසු ගියදා කියා සිටියේ.

2009 වසරේ යුද්ධයේ අවසාන භාගයේදී දෙමළ සාමාන්‍ය වැසියන් හතළිස් දහසක් පමණ ඝාතනය කොට ඇති බවට ශ්‍රී ලංකා හමුදාවට චෝදනා එල්ල වේ.

ඉරිදා සහ සඳුදා යන දින දෙකෙහි යාපනය ඇතුළු උතුරු පළාතේ සංචාරය කිරීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා එහිදී මානව හිමිකම් කඩ වීමේ ක්‍රියාවන්ට ගොදුරු වූ බව පවසන පුද්ගලයන් හමු වීමටද නියමිතයි.