'ආණ්ඩුවේ සංහිඳියා ක්‍රියාමාර්ග එක්සත් ජාතීන්ගේ ඇගයුමට'

Image copyright Harsha De Silva
Image caption 'සංහිඳියාව ඇති කිරීම සඳහා කරපු වැදගත් කාරණා පිළිබඳ ඉතාමත් ධනාත්මක ලෙස, බොහොම පැහැදීමෙන් කතා කළා. ඔවුන් කිව්වා ලෝකයේ බොහෝ රටවලට වඩා ශ්‍රී ලංකාව ඉදිරියෙන් කටයුතු කරන බව වැටහෙන්නට තිබෙන බව. ඔවුන් අපේ දේශපාලන යථාර්ථයත් තේරුම් අර ගෙන තිබෙනවා'

පසුගියදා ජිනීවාහිදී සම්මත කර ගනු ලැබූ මානව හිමිකම් යෝජනාවලියට අදාළව මෙතෙක් ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සෑහීමකට පත් වී සිටින බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසයි.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ඇතුළු සිය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සයිඩ් රාඩ් අල් හුසේන් එසේ ප්‍රකාශ කළ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

ජිනීවා මානව හිමිකම් යෝජනාවලිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ මහ කොමසාරිස්වරයා ඇතුළු දූත පිරිස සමග සුහද සාකච්ඡාවක නිරත වූ බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා යෝජනාව සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවකට පැමිණීම මහ කොමසාරිස්වරයාගේ සංචාරයේ අරමුණ නොවන බව පැවසීය.

Image caption පසුගියදා ජිනීවාහිදී සම්මත කර ගනු ලැබූ මානව හිමිකම් යෝජනාවලියට අදාළව මෙතෙක් ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සෑහීමකට පත් වන බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසයි.

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ඇති කරනු වස් පසුගිය වසරේ ජනවාරි 08 වනදා සිට මේ දක්වා ආණ්ඩුව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිස සතුට පළ කළ බවත් ඔහු සඳහන් කළේය.

'සංහිඳියාව ඇති කිරීම සඳහා කරපු වැදගත් කාරණා පිළිබඳ ඉතාමත් ධනාත්මක ලෙස, බොහොම පැහැදීමෙන් කතා කළා. ඔවුන් කිව්වා ලෝකයේ බොහෝ රටවලට වඩා ශ්‍රී ලංකාව ඉදිරියෙන් කටයුතු කරන බව වැටහෙන්නට තිබෙන බව. ඔවුන් අපේ දේශපාලන යථාර්ථයත් තේරුම් අර ගෙන තිබෙනවා' විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා කියා සිටියේය.

ඉරිදා සහ සඳුදා යන දින දෙකෙහි යාපනය ඇතුළු උතුරු පළාතේ සංචාරය කිරීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා එහිදී මානව හිමිකම් කඩ වීමේ ක්‍රියාවන්ට ගොදුරු වූ බව පවසන පුද්ගලයන් හමු වීමටද නියමිතයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර