තෙල් මිලේ වාසිය අපට දෙන්න -ධීවරයෝ

ලෝක වෙළඳ පොළේ පහළ යමින් තිබෙන තෙල් මිලේ වාසිය ධීවර ජනතාවට ලබා දෙන මෙන් ඉල්ලා තංගල්ල කුඩාවැල්ලේ ධීවරයෝ වීදි බසිති.

මෙම උද්ඝෝෂණයේ තවත් අරමුණක් වන්නේ කල්පිටිය ධීවරයින් පිරිසකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කොට එයට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස බල කිරීමයි.

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය මෙය සංවිධානය කර තිබේ.

මේ වන විට ධීවර කර්මාන්තය කඩා වැටෙමින් පවතින ජීවන වෘත්තියක් බවට පත් වෙමින් තිබෙන බවත් ධීවර ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ධීවර ඇමතිවරයා හා ධීවර රාජ්‍ය ඇමතිවරයා තම තමන් ගේ බලය සඳහා කටයුතු කරමින් සිටින බවත් උද්ඝෝෂකයෝ පැවසූහ.

''ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර ජනතාවට කිසිදු පිළිසරණක් නොමැතිව ධීවර කර්මාන්තයෙන් මහා මගට වැටිලා ඒ ආශ්‍රිත කර්මාන්තයන් ද මුළුමනින් ම බිද වැටිලා තියෙනවා .ඒ ගැන කිසිදු හැඟීමකින් තොරව අමාත්‍යවරයාත් රාජ්‍ය අමාත්‍යවරයාත් එළ හරකයි මී හරකයි වගේ දෙපැත්තට ඇද ඇද ධීවර ජනතාවගේ ප්‍රශ්න මුළුමනින්ම යටපත් කරලා ඒ දෙන්නා ඒ අයගේ පැවැත්ම ආරක්ෂා කර ගන්න දරුණු සටනක නියුක්ත වෙලා ඉන්නවා. අපි කියා සිටින්නේ ඒ සටන නවත්වලා ධීවර ජනතාවගේ ප්‍රශ්න වලට සහන සලසා දෙන්නෙයි කියලා '' සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ සභාපති හම්බන්තොට දිස්ත්‍රික් ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති පැවසීය.

මෙම චෝදනා හා ඉල්ලීම් සම්බන්ධයෙන් කළ විමසීමක දී ධීවර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටියේ ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කර ඇති බවයි.

''මේ විරෝධතාව පිළිබදව අපට වාර්තා වෙනවා. එහි මූලිකත්වය ගෙන තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. අපිට කිසිදු දැනුම්දීමක් කලේ නැතිව තමයි මේ විරෝධතාව පවත්වන්නේ. රජය විදියට ධීවර ජනතාවට ඒ සහනය ලැබෙනවට විරුද්ධතාවයක් නෑ. රජය ගන්න ප්‍රතිපත්ති තීරණ මත තමයි එය ක්‍රියාත්මක වෙන්නේ. ධීවරයාට විතරක් නොවෙයි හැමෝටම ඉන්ධන මිල අඩු වීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේත් සාකච්ඡා කරලා තියෙනවා. ඉදිරියේ දී වැඩපිළිවෙලක් ගන්න සුදානමක් තියෙන බව තමයි මට වාර්තා වෙන්නේ. ඒ ඉව දැනිලා මේ විරෝධතාවය පවත්වනවාද දන්නේ නෑ. එමෙන්ම කල්පිටිය ධීවර වරායේ දී යාත්‍රා කිහිපයකට පහර දීම සම්බන්ධයෙන් දැඩිව නිතිය ක්‍රියාත්මක කරන්න පොලිසිය දැනුවත් කරලා තියෙනවා. ලයිලා සහ සුරුක්කු දැල් පන්න ක්‍රම තහනම් කිරීම නිසා එයට විරෝධය පා තමයි මේ පහර දීම සිදු කර තියෙන බවට තොරතුරු ලැබිලා තියෙන්නේ. කෙසේ නමුත් මේ තහනම් පන්න ක්‍රමයට දැමූ තහනම කිසිසේත් ඉවත් කිරීමට කටයුතු කරන්නේ නෑ '' ඇමතිවරයා පැවසීය.

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ කැඳවුම්කරු රත්න ගමගේ පවසා සිටියේ පසු ගිය දා කල් පිටියේ විනාශ කරන ලද ධීවර යාත්‍රා 11 සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශය වග කිව යුතු බවයි.