ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ක්‍රිකට් විකාශය 'CSN හරි කමක් නැහැ'

කුමන නාලිකාවකින් හෝ ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණ ජනතාවට දැක ගැනීමට සැලැස්විය යුතු බව ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර පවසයි.

ඉන්දියාව සමග පැවැත්වෙන විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය දේශීය නාලිකාවක් ඔස්සේ විකාශය නොවීම පිළිබඳ බීබීසිය විමසා සිටි අවස්ථාවේ දී ය ඔහු මේ බව පවසා සිටියේ.

ඒ පිලිබඳ තමන්ද කනගාටුවට පත්වන බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අනුග්‍රාහකයන් සොයා ගැනීමට අපහසු වීම එයට හේතුව වන්නට ඇති බවයි.

ජය පරාජය කුමක් වුවත් ශ්‍රී ලංකාව සහභාගී වන තරඟ දේශීය නාලිකා ඔස්සේ විකාශය වීම අනිවාර්යයෙන් සිදුවිය යුතු බව පැවසූ ක්‍රීඩා අමාත්‍යවරයා දකුණු ආසියා ක්‍රීඩා උළෙල අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි සඳහන් කළේ.

සී එස් එන් නාලිකාව වැනි පෞද්ගලික නාලිකා වලට අවස්ථාව නොදී රජයේ නාලිකා වල පමණක් මේ තරඟ විකාශය කිරීමට නියෝග කර තිබීම මෙයට හේතුව දැයි බී බී සී ය විමසු විට ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ එය තමන් පැමිණීමට පෙර ගත් තීරණයක් වන අතර කුමන නාලිකාවක විකාශය වුවද එය තමනට ප්‍රශ්නයක් නොවන බවයි.

‘සී එස් එන් නාලිකාව හරි කමක් නැහැ ඒක අරගෙන කරනවානම් අපි ඔවුන්ට ඒ ශක්තිය දෙන්න ඕන. ඒක දේශපාලනය පිලිබඳ ප්‍රශ්නයක් නෙවෙයි’ යනුවෙනුයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ක්‍රීඩා ලෝලීන්ගේ විරෝධය

ඔහු වැඩි දුරටත් පැවසුවේ පෞද්ගලික නාලිකා වලට ක්‍රීඩා තරඟ ආවරණය කිරීමට නොදීම පිටුපස යම් දේශපාලන මැදිහත්වීමක් තිබෙන බවට තොරතුරු නැති බවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන සැම ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් ම දේශීයව පසුගිය කාලයේ විකාශය වූ අතර ඊයේ ඉන්දියාව සමග පැවති තරඟය කිසිදු නාලිකාවක් විකාශය නොකිරීම පිළිබඳව ක්‍රීඩා ලෝලීන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් පළ කරනු දක්නට ලැබුණි.

මේ අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරඟ දෙක ජාතික රූපවාහිනියේ අයි නාලිකාවෙන් පෙන්වීම සම්බන්ධව සුබදායී බලාපොරොත්තු තැබිය හැකි බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන බීබීසියට පැවසුවේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා ටෙලෙකොම් සමාගම අනුග්‍රාහකයෙකු ලෙස ඉදිරිපත් වීමත් සමගයි.