පුනරුත්තාපනයට අකමැති එල්ටීටීඊ සැකකරුවන්ට නඩු

Image copyright Getty
Image caption සැකකරුවන් කිසිදු වරදක් සිදු කර නොමැති බැවින් පුනරුත්තාපන ක්‍රියාවලියේ නිරත වීමට අකමැත්ත පළ කළ බවයි විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කේවී තවරාසා ප්‍රකාශ කළේ

පුනරුත්තාපනය සඳහා යොමු වීමට අකමැති අත්අඩංගුවේ පසු වන එල්ටීටීඊ සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව ත්‍රස්ත මර්දන ඒකකය කොළඹ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා ඇත.

පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය ඒ බව කියා සිටියේ ඇප මත මුදා හැර සිටින එල්ටීටීඊ සැකකරුවන් 15 දෙනෙකුට එරෙහිව ගොනු කළ පැමිණිල්ලක් අධිකරණයට කැඳවූ අවස්ථාවේදී.

ඇප මත මුදා හැර සිටින ඉහත කී සැකකරුවන් පුනරුත්තාපනය සඳහා යොමු කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇති බව වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

ඒ සඳහා තමන් අකමැති බව සැකකරුවෝ අධිකරණයට දන්වා සිටියහ.

සැකකරුවන් කිසිදු වරදක් සිදු කර නොමැති බැවින් පුනරුත්තාපන ක්‍රියාවලියේ නිරත වීමට අකමැත්ත පළ කළ බවයි විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කේවී තවරාසා ප්‍රකාශ කළේ.

'දේශපාලන සිරකරුවන්'

එම අවස්ථාවේ පොලිසිය අධිකරණයට දන්වා සිටියේ සැකකරුවන් පුනරුත්තාපන ක්‍රියාවලියේ නිරත වීමට එකඟ නොවේ නම් ඔවුන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.

ඉහත කී සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙස හෝ නිදහස් කරන ලෙස තමන්ට උපදෙස් ලැබී නොමැති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව පැමිණිල්ල ජුනි මස 01 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන අධිකරණය දැනුවත් කරන මෙන්ද ත්‍රස්ත මර්දන ඒකකයට නියම කළේය.

මේ අතර ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ එල්ටීටීඊ සැකකරුවන් දේශපාලන සිරකරුවන් ලෙස හඳුන්වන දෙමළ ජාතික සන්ධානය ඔවුන් නිදහස් කරන මෙන් ඉල්ලා සිටියි.

ආණ්ඩුව පවසන්නේ ශ්‍රී ලංකාව තුළ දේශපාලන සිරකරුවන් නොමැති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර