ඉන්දු-ලංකා ගිවිසුම 'අපනයන ආදායම ඉහළ දැමීමට'

ඉන්දු-ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට වාසි රැසක් අත්වන බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම පවසයි.

ඉන්දු-ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම ගැන අද පාර්ලිමේන්තුවේ දී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි ඔහු මෙම අදහස් පල කළේ

'තායිලන්තය,මැලේසියාව වගේ රටවල් බිලියන 5ක් 6ක් 7ක් අපනයනය කරනවා ඉන්දියාවට නමුත් අපි අපනයනය කරන්නේ මිලියන 700ක් 800ක් විතරයි, ඉන්දියාවට හැතැප්ම 20යි ලංකාවට තියෙන්නේ '

මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට විශාල වෙළද පොළක් විවෘත වන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මෙම ගිවිසුම තවමත් සාකච්ඡා මට්ටමක පවතින නිසා එහි අඩංගු කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාවක් තමන්ට නොමැති බවයි උදය ගම්ම්පිල මන්ත්‍රීවරයා ගිවිසුම ගැන නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය මලික් සමරවික්‍රම කියා සිටියේ.

අත්සන් කිරීමට පෙර ගිවිසුම සාකච්ඡා කිරීම සදහා ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

විරෝධතා

මේ අතර ඉන්දියාව සමග මෙවන් ගිවිසුමක් අත්සන් නොකරන්නැයි රජයට බල කරමින් වෘත්තීයවේදීහු හා සරසවි සිසුහු දහසක් පමණ අද විහාරමහාදේවී උද්‍යානයේ විරෝධතාවක් පැවැත්වූහ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ඇතුළත්ව ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ සංගමය විසිනුයි මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ.

විරෝධතාවයට එක්ව සිටි රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමයේ වෛද්‍ය නිමල් කරුණාතිලක පැවසුවේ මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීමෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවේ ග්‍රහණයට යටත් වන බවයි.

විරෝධතා රැලිය ඇමතු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය පැවසුවේ වෛද්‍යවරුන්ට පමණක් නොව රටේ සියළු වෘත්තීයවේදීන්ට මෙම ගිවිසුම මගින් බලපෑම් ඇති වන බවයි.

' මේක දොස්තරලගේ ප්‍රශ්නයක්වත් තොරතුරු තාක්ෂණවේදීන්ගේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි අපි ඔක්කොමගේ ප්‍රශ්නයක්, අද කැමරා ගන්න ඔය අය පැයකට ඔය වැඩේට රුපියල් 1000ක් ගන්නවනම් ඉන්දියාවෙන් කට්ටිය ඇවිල්ලා රුපියල් 200ට කරයි ඕක, එතකොට ඔය කට්ටියගේ රැකියාත් නැහැ'

කෙසේ වෙතත් යෝජිත මෙම ගිවිසුමෙන් අවධානය යොමු කරනුයේ සේවා අංශ දෙකක් වන නාවුක සේවා හා තොරතුරු තාක්ෂණ සේවා අංශ දෙක පමණක් බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මින් පෙර පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.