නිදහස් පක්ෂයේ කොටසක් රට පාවා දෙනවා - මහින්ද

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කල යෝජනාව ක්‍රියාත්මක කිරීමට සහය වීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොටසක් ද රට පාවාදෙන වැඩපිළිවෙළට එකතු වී සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් රාඩ් අල් හුසේන් කුමරුගේ ශ්‍රී ලංකා සංචාරය ගැන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ

‘මගේ අතිමහත් කනගාටුවට හේතුව වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොටසක් ද එක්සත් ජාතික පක්‍ෂයේ මේ රට පාවාදෙන වැඩපිළිවෙළට එකතු වී සිටීමයි’

ජීනීවා යෝජනාවට එකඟත්වය පල කිරීමෙන් පසුව එයින් මේ රටට කිසිදු හානියක් නැතැයි කීමටත්, ජනතාව අතර එයට පිළිගැනීමක් ඇති කිරීමටත්, ආණ්ඩුව විවිධ උපක්‍රම භාවිතා කරමින් සිටින බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.

ජිනීවා යෝජනාව සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කරන බවට මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරියේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රතිඥා දී තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයේ සදහන් කරයි.

යුද අපරාධ විභාග කිරීම සදහා විදේශීය විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන් හා විමර්ශන නිලධාරීන්ගෙන් සමන්විත යුද අපරාධ අධිකරණයක් ඇති කරන බව ජිනීවා යෝජනාවේ සඳහන් බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

යුද්ධයට සහය නොදැක්වූ එක්සත් ජාතික පක්‍ෂයේ මේ ක්‍රියා පිළිවෙත ගැන තමන් පුදුම නොවුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමට එකගවී ඇති බවට ප්‍රකාශ වී තිබීම ගැන තමන් කනගාටුවට පත්වන බවයි හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයේ සදහන් කර තිබෙන්නේ.