ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉඩම් ආපසු දෙන්න - රජයට බලපෑම්

තමන්ගෙන් උදුරා ගත් ඉඩම් ආපසු ලබා දෙන ලෙස ඉල්ලමින් දහස් ගණන් පිරිස් අද කොළඹදී උද්ඝෝෂණ රැළියකට සහභාගි වූහ.

උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ඔවුන් එම උද්ඝෝෂණයට එක් වුණේ කොළඹ පැවති ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සමුළුවකට සහභාගිවීමෙන් අනතුරුවයි.

එය සංවිධාන කොට තිබුණේ ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය විසින්.

උදුරා ගත් ඉඩම්

පසුගිය රජය සමයේ සංවර්ධන කාර්යයන් මුවාවෙන් ජනතාවගෙන් උදුරා ගත් ඉඩම් වහාම ජනතාවට නැවත ලබා දිය යුතු යන්න සමුළුවේ තේමාව විය.

අද බ්‍රහස්පතින්දා පෙරවරුවේ සමුළුව කොල්ලුපිටියේදී පැවති අතර සමුළුවෙන් අනතුරුව ඉඩම් අහිමි වූ ජනතාව පෙළපාලියෙන් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණෙමින් සිටියදී පොලිසිය විසින් එය නවතා දමන ලදී.

මෙහිදී පොලිසිය සමග කළ සාකච්ඡාවකින් අනතුරුව ඉඩම් අහිමි වුවන් නියෝජනය කරමින් නියෝජිතයන් කීප දෙනෙකුට ජනාධිපති කාර්යාලයට හා අගමැති කාර්යාලයට යාමට අවස්ථාව ලැබිණි .

ජනාධිපති කාර්යාලයේ හා අගමැති කාර්යාලයේදී පැවති සාකච්ඡා කෙතරම් දුරට සාර්ථක වේදැයි තමන්ට විශ්වාස නොමැති බවයි ලෝක ධීවර සම්මේලනයේ මෙරට නියෝජිත හර්මන් කුමාර මාධ්‍යයට පැවසුවේ.

අම්පාර පානම ජනතාව පැමිණ සිටියේ පසුගිය පාලන සමයේ දී බලහත් කාරයෙන් එවක පැවති රජය විසින් අල්ලා ගෙන තිබෙන අක්කර 1200 ක පමණ භුමිය වහාම නිදහස් කර දෙන ලෙස ඉල්ලා සිටීමටයි.

කැබිනට් තීන්දුවක්

තම ඉඩම් නැවත ලබා දෙන ලෙසට මිට වසරකට පෙර කැබිනට් තීන්දුවක් ඇති බවද පානම් පත්තුව ඉඩම් සුරැකීමේ සංවිධානය විසින් සමුළුවේදී පෙන්වා දෙන ලදී.

යාපනය වලිකාමම් ප්‍රදේශයෙන් පැමිණි ජනතාව කියා සිටියේ තම ඉඩම් නැවත ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.

තමන්ගෙන් උදුරා ගත් අක්කර 5000 ක භූමියෙන් අක්කර 1200 ක භූමියක් නිදහස් කලත් මෙතෙක් එම භුමි ප්‍රදේශයේත් කිසිවක් කිරීමට බලයක් නොමැති බවද වලිකාමම් ජනතාව පෙන්වා දුන්හ.

ත්‍රිකුණාමලය සාම්පුර් තාප බලාගාරය සහ නාවික හමුදා කඳවුර හේතුවෙන් සාම්පුර් වැසියන්ගේ අක්කර 1200 ක භූමියක් මෙතෙක් නිදහස් කර නොමැති බවද සමුළුවේදී එම ජනතා නියෝජිතයන් විසින් පෙන්වා දෙන ලදී.

කුරුණෑගල ඉරුදෙනියාය ගම්මාන 42 කේ පවුල් 23000 ක් අලි මංකඩක් හේතුවෙන් අන්ත අසරණ තත්වයට පත් වීමට ඉඩ ඇති බව පෙන්වා දුන් ඉරුදෙනියාය ගම්වැසියන් තම ඉඩම් අලි මන්කඩෙන් නිදහස් කර දෙන ලෙසටයි ඉල්ලා සිටියේ.

මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයේ අක්කර 800 ක් නාවික හමුදාව විසින් අත් පත් කර ගෙන තිබීම ද අද සමුළුවේ සාකච්ඡාවට ලක්වූ තවත් ගැටලුවක්.

කල්පිටියේ දුපත් 14 ක් ධිවර ජනතාවගෙන් උදුරා ගනිමින් සංචාරක කර්මාන්තයට ලබා දීම සඳහා පසු ගිය රජය ගෙන ගිය වැඩපිළිවෙල මේ රජය විසිනුත් ඉදිරියට ගෙන යාමද සමුළුවේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය.