අපි හෝදන්නේ අනුන්ගේ පව් - ජනාධිපති

Image copyright Getty

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රී ලංකාවට කිසිදු නියෝගයක් හෝ බලපෑමක් සිදු කර නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ පසුගිය දා ශ්‍රී ලංකාවේ සංචාරය කළා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා හා තමා අතර සිදු වූ සාකච්චාව ගැන අද, සිකුරාදා බලන්ගොඩ පැවති උත්සවයක දී අදහස් දක්වමින්

‘මහ කොමසාරිස්වරයා කිව්වේ ඔබේ පාලන කාලය ගැන මා ඉතා සතුටට පත්වෙනවා කියලා, මේ රට දියුණු කරන්න අවශ්‍ය සහයෝගය කුමක්ද ? ඒ සියල්ල අඩුවකින් තොරව ශ්‍රී ලංකාවට දෙනව කියන එක එතුමා කිව්වා’

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රී ලංකාවට කිසිදු නියෝගයක් හෝ බලපෑමක් සිදු කර නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ රටට අහිතකර ජිනීවා යෝජනාවට එකඟ වී ජනාධිපතිවරයා හා අගමැතිවරයා රට පාවාදී තිබෙන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ දැක්වූ අදහස් වලට පිළිතුරක් ද ලබා දෙමින්.

‘ මම දැක්කා සමහර නායකයෝ ඊයේ අද පත්තර වල කියලා තියෙනවා නොයෙකුත් දේවල්, මම ඒගොල්ලන්ට කියන්න ඕනෑ ඒගොල්ලෝ කරපු පව් තමයි අපිට හෝදන්න සිද්දවෙලා තියෙන්නේ කියලා’

ඉන්දු-ලංකා ආර්ථික ගිවිසුම

මේ අතර ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත ආර්ථික ගිවිසුම ගැන අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ රටට අහිතකර කිසිදු ගිවිසුමකට තමන් අත්සන් නොතබන බවයි.

ඒ සම්බන්ධයෙන් දේශීය ඉංජිනේරුවන්, තොරතුරු තාක්ෂණ නිලධාරීන් ඇතුළු පාර්ශව ගණනාවක්ම තමන් සමග සාකච්චා පැවැත්වූ බව පැවසූ ජනාධිපතිවරයා මෙම ගිවිසුම සම්බන්ධයෙන් දේශපාලන ප්‍රතිවාදීන් විවිධ වැරදි අදහස් සමාජ ගත කරන බවයි පැවසුවේ

‘සමහර අය පෙළපාලි යනවා, විරෝධතා පවත්වනවා ඉන්දියාව සමග අත්සන් කිරීමට අනාගතයේ දී නියමිත ගිවිසුමක් සම්බන්ධයෙන්, කිසිම රටක් එක්ක අපිට අලාභයක් වන අපට පාඩුවක් වන මේ රටේ දේශීය ආර්ථිකයට හානි දායක කිසිම දෙයක් අපි කරන්නේ නැහැ, ඒක ඉතාම පැහැදිලියි’

ජනතාව තමා ජනාධිපති ධුරයට පත් කර ඇත්තේ රට ඉදිරියට ගෙන යාමට මිස ප්‍රතිවාදියන් පවසන අන්දමට රට විනාශ කිරීමට නොවන බව එහිදී ජනාධිපතිවරයා කියා සිටියේය.