ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කළේ නැහැ - විජයකලා

Image copyright VMaheswaran

යාපනයේ පාසලක පැවති උත්සවයක දී තමා ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කළ බවට පල කර ඇති මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පැවසුවාය.

තමන් එම උත්සවයට සහභාගි වුවත් කිසිම අවස්ථාවක ජාතික කොඩිය එසවීමට තමාට ආරාධනා නොකළ බවයි ඇය පැවසුවේ.

ජාතික කොඩිය එසවීමේ කිසිදු ගැට‍ළුවක් තමන්ට නොමැති බව ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍යවරිය ජාතිවාදය පැතිරවීමේ අරමුණින් මෙවන් අසත්‍ය පුවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් මැදිහත්වීමෙන් පලකරන බවයි ඇය බීබීසියට පැවසුවේ.

ජාතික කොඩිය එසවීමට ප්‍රතික්ෂේප කළ ඇමතිවරියට එරෙහිව ගන්නා වූ පියවර කුමක්දැයි, පසුගියදා බදාදා පැවති මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහගෙන් ද විමසා සිටියේය.

‘එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරියකට පුළුවන් නම් රටේ ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කරන්න, ඒකෙන් පෙන්වන්නේ කුමක්ද?’ විමල් විරවංශ මන්ත්‍රීවරයා ප්‍රශ්ණ කළේය.

තමන් මෙම අසත්‍ය චෝදනාව ගැන ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ අදහස් දක්වන බවයි රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.