ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ෆොන්සේකාට බැරි නම් මහින්දටත් බැහැ -අකිල

තිසර අරවින්ද රතුවිතාන

බීබීසී -ලන්ඩන්

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යුද අපරාධ සිදු කළ බවට සනාථ වී නැති බවත් ඔහු පාර්ලිමේන්තුවට නුසුදුස්සෙකු නොවන බවත් එජාපය පවසයි.

එජාප ප්‍රකාශක අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා මේ බව බීබීසීයට කියා සිටියේ, ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවට පත් කිරීම විවේචනය කරමින් මෙම සංවිධානය කියා සිටින්නේ කොටි කැරලිකරුවන්ට එරෙහිව සටන් මෙහෙයවා යුද ජයග්‍රහණය අත් කර ගැනීමට නායකත්වය දුන්, ඔහුගේ යුද හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල වී ඇති බවට ඉඟි කොට ඇති බවයි.

යුද අපරාධ චෝදනා නිසා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ සිටීම යුක්ති සහගත නොවේ නම් හිටපු ජනාධිපතිවරයාටද පාර්ලිමේන්තුවේ සිටිය නොහැකි බවයි අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා පවසන්නේ.

එබැවින් හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ විවේචනය කිසිසේත් සාධාරණ නොවන බව ඇමතිවරයා පවසයි. හඬ පටය අමුණා ඇත.

‘එවකට රජයේ නායකත්වය දැරුවේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා. එතුමා තමයි රාජ්‍යය පාලනය කළේ. එහෙම නම් ඉතින් එතුමාටත් පසුගිය ජනාධිපතිවරණයට ඉල්ලන්නත් බැහැ. ඒ වගේම එතුමාට පාර්ලිමේන්තුවට පත් වෙන්නත් බැහැ. එතුමත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. එනිසා මේක කිසිසේත් සාධාරණ විවේචනයක් නොවෙයි.’ ඔහු පැවසීය.

කෙසේ නමුත් යුද අපරාධ සිදු වී ඇත්දැයි සොයා බැලීම සඳහා දේශීය යාන්ත්‍රණයක් හරහා පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවයි ඇමතිවරයා පවසන්නේ.

‘එජාපය සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් සුරකිනවා. නිදහස් දිනයේ දී ජාතික ගීය දෙමළෙනුත් ගායනා කළා. විපක්ෂ නායක දෙමළ ජාතිකයෙක්. අග්‍ර විනිශ්චයකාරවරයා දෙමළ ජාතිකයෙක්. කොළඹ නගරාධිපති මුස්ලිම් ජාතිකයෙක්. අපේ පක්‍ෂයේ මහ ලේකම් මුස්ලිම් ජාතිකයෙක්. අපිට ඕන ජාතියක් ලෙස නැගී සිටින්න. දූපත් මානසිකත්වයෙන් වැඩ කරල නැහැ.’ අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා ප්‍රකාශ කළේය.