වතුකරයේ 'නීති විරෝධී ගබ්සා ජාවාරමක්'

Image caption ''මහා ජාලයක් වශයෙන් ක්‍රියාත්මක වන වැඩසටහනක් නිසා මම තීරණය කළා මේ සම්බන්ධයෙන් පොලිස්පතිතුමා දැනුවත් කරන්න. මොකද වතුවල ඉතාමත් අහිංසක මිනිස්සු ඉන්නේ. ඒ අයට විශාල දැනුම් තේරුමක් නැහැ''

වතුකරයේ ගැබ් ගත් කාන්තාවන් නීති විරෝධී ලෙස ගබ්සා කිරීම් වලට ලක් කිරීමේ ජාවාරමක් පිළිබඳ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීහු අනතුරු හඟවති.

වතුකරයේ කාන්තාවන් ඉලක්ක කොට ගබ්සා සිදු කරන බව සඳහන් කාඩ් පතක් නුවරඑලිය කොට්ටගල ප්‍රදේශයේ බෙදා හැර ඇති බව එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජනත් අබේරත්න පැවසුවේය.

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ අනුදැනුමකින් තොරව ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානයක් හරහා ගැබ් ගත් කාන්තාවන් ගබ්සා කිරීම් සඳහා යොමු කරන බවයි ඔහු කියා සිටියේ.

නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථාන පිළිබඳ රටේ නන් දෙසින් තොරතුරු වාර්තා වුවත් ප්‍රචාරයක් ලබා දෙමින් පවත්වාගෙන යනු ලබන ගබ්සා මධ්‍යස්ථානයක් පිළිබඳ අසන්නට ලැබුණේ පළමු වතාවට යැයි ඔහු පැවසීය.

වතු සේවිකාවන් නිතර ගැවසෙන ස්ථානවල දුරකථන අංක සඳහන් ඉහත කී දැන්වීම් පත්‍රිකා බෙදා ඇති බවත් වෛද්‍ය ජනත් අබේරත්න සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ආරක්ෂක අංශයට පැමිණිලි කළත් ඉන් ඵලක් නොවූ බවයි වෛද්‍යවරයා කියා සිටියේය.

''මහා ජාලයක් වශයෙන් ක්‍රියාත්මක වන වැඩසටහනක් නිසා මම තීරණය කළා මේ සම්බන්ධයෙන් පොලිස්පතිතුමා දැනුවත් කරන්න. මොකද වතුවල ඉතාමත් අහිංසක මිනිස්සු ඉන්නේ. ඒ අයට විශාල දැනුම් තේරුමක් නැහැ''

ඉහත කී ගබ්සා වැඩසටහන හේතුවෙන් ළමා සහ මාතෘ සෞඛ්‍ය ඉහළ නැංවීමේ දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා බලපෑම් එල්ල වී ඇති බවත් වෛද්‍යවරයා පැවසුවේය.

දඬුවම් ප්‍රමාණවත්ද?

Image caption නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථාන පිළිබඳ රටේ නන් දෙසින් තොරතුරු වාර්තා වුවත් ප්‍රචාරයක් ලබා දෙමින් පවත්වාගෙන යනු ලබන ගබ්සා මධ්‍යස්ථානයක් පිළිබඳ අසන්නට ලැබුණේ පළමු වතාවට යැයි වෛද්‍යවරයා පැවසීය

''නුවරඑළියේ තමයි වැඩිම රාජ්‍ය නොවන සංවිධාන ප්‍රමාණයක් වැඩ කරන්නේ. ඒ සංවිධාන ප්‍රමාණයත් ලැබෙන මුදල් ප්‍රමාණයත් බැලුවම මෙහෙ ළමා සහ මාතෘ සංවර්ධනය ඉහළින්ම තිබෙන්න ඕනි.''

එසේ නමුත් නුවරඑලිය දිස්ත්‍රික්කය තුළ ළමා සහ මාතෘ සෞඛ්‍ය මට්ටම ඉතා පහළ මට්ටමක පවතින බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ අනෙකුත් ආයතන හේතුවෙන් නුවරඑලිය දිස්ත්‍රික්කය තුළ ළමා සහ මාතෘ සෞඛ්‍ය මට්ටමෙහි යම්කිසි වර්ධනයක් දැක ගත හැකි බවත් ඔහු කියා සිටියේය.

රුපියල් විසි පන්දහසේ සිට තිස් දහස දක්වා වූ මුදලක් අය කරමින් පවත්වාගෙන යනු ලබන නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථාන පවත්වාගෙන යන පිරිස් නීතියේ රැහැනට හසු කිරීමට කටයුතු කළත් ඔවුන් නැවතත් එම ක්‍රියාකාරකම්වල නිරත වන බවයි වෛද්‍යවරයා පවසන්නේ.

ඔවුන් නැවත නැවතත් එම ක්‍රියාවල නිරත වන්නේ එම පිරිස්වලට අධිකරණය ලබා දෙන දඬුවම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජනත් අබේරත්න ප්‍රශ්න කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර