රාවණා බලයේ හා සිහළ රාවයේ නායක හිමිවරු පොලීසියට බාර වෙති

බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ හෝමාගම උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරුණු බවට ලද චෝදනා එල්ල වී තිබූ 'රාවණා බලය' සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් සහ 'සිහළ රාවය' සංවිධානයේ අක්මීමන දයාරතන හිමියන් ඇතුළු පිරිසක් හෝමාගම පොලිසිය වෙත බාර වී ඇත.

උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත්වරයා පොලිසියට මින් පෙර නියෝග කර තිබුණි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ අවස්ථාවේදී ඉහත කී සැකකාර හිමිවරුන් ඥානසාර හිමියන් උසාවි භුමියේ සිට බන්ධනාගාරය ගෙනයාම වළක්වමින් විරෝධතා සිදු කරනු දක්නට ලැබුණි.

පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ඇතිවයි ඥානසාර හිමියන් බන්ධනාගාර ගතකරනු ලැබුවේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඥානසාර හිමියන් ඇප මත නිදහස් වුවද අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට බැණ තර්ජනය කළ බවට ලද පැමිණිල්ලකට අදාළව එහිමියන් පෙබරවාරි මස 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමටයි අධිකරණය නියෝග කළේ.