ධනපතියන්ට වැඩි බදු - අගමැති

සාමාන්‍ය ජනතාවගෙන් වැඩි බදු ප්‍රමාණයක් අය කර ධනපතියන්ගෙන් අඩු බදු අය කරන ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය වෙනස් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ශ්‍රී ලංකාවේ දුගී බව හා සෞභාග්‍යය පිළිබඳ ලෝක බැංකුවේ තොරතුරු වාර්තාවක් එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව පැවසුවේ.

ශ්‍රී ලංකාවේ රජයේ බදු ආදායමෙන් 80% ක් පමණ ලැබෙන්නේ සාමාන්‍ය ජනතාවගෙන් බව පෙන්වා දෙන අගමැතිවරයා මෙම තත්වය වෙනස් කිරීමට වැඩි ආදායම් ලබන පැලැන්තියෙන් ප්‍රාග්ධන බද්දක් අය කිරීමේ අදහසක් ඇති බවයි පැවසුවේ.

‘මේ අවුරුදු 20,30 තුල මේ රටේ දියුණුවක් ඇති වෙලා ධනපතියෝ, අධි ධනපතියෝ මේ සියල්ල ඉන්නවා, ඒත් මේ රටේ බදුවලින් 80% ගෙවන්නේ සාමාන්‍ය ජනතාව'

‘ප්‍රාග්ධන අයිතිය 80% ක් තියෙන අය බදු ගෙවන්නේ 20% යි, 20% ක් තියෙන අය ගෙවනවා 80% ක්, මේ ක්‍රමවේදය වෙනස් කරන්න ඕන, ක්‍රමානුකූලව ප්‍රාග්ධනයටත් අපි බද්දක් දාන්න අදහස් කරනවා’ අගමැතිවරයා පැවසුවේය.

Image copyright THINKSTOCK

සින්නක්කර ඉඩම් අයිතිය

අතීතයේ දී ධනපතියන්ගෙන් වැඩි බදු අය කර ගැනීමේ ක්‍රමයක් තිබුණු බවයි අගමැතිවරයා සඳහන් කළේ.

‘ප්‍රාග්ධනයට ගෙව්වා, වතු බද්ද ගෙව්වා, ධන බද්ද ගෙව්වා, ප්‍රාග්ධන ලාභයක් ලැබුනහම ගෙව්වා, මැරුණ හම මරාල බද්ද ගෙව්වා, වැඩියෙන් ම තිබ්බේ අපේ දෙමාපියන්ට අද පේන විදිහට වෙනත් පැත්තක තියෙන්නේ’

ප්‍රාග්ධනය ලබා නොදී දුපපත් කම නැති කිරීමට නොහැකි බව පෙන්වා දුන් අගමැතිවරයා මෙරට ඉඩමක අයිතිය නැතිව සිටින ලක්ෂ 20ට පමණ සින්නක්කර අයිතිය ලබා දීමේ වැඩපිළිවෙළ ඊට විසඳුමක් වනු ඇති බවයි සඳහන් කළේ.

‘මේ අවුරුද්දේ දී අපි අලුත් නීතියකින්, රජය ජනතාවට දීලා තියෙන ඉඩම් නිවාස සින්නක්කර ඔප්පුවකින් අයිතිකාරයන් බවට පත් කරනවා, එක නීතියකින් අයිතිකාරයන් ලක්ෂ 20 ක් 30ක් මේ රටේ බිහි වෙනවා’

මිනිසුන්ට මුදල්දී ඔවුන් පාරට දමා කෑ ගසමින් කාලය නාස්ති නොකර රට ගොඩනැඟීම සඳහා එක්වෙන ලෙස තමන් සියලු පාර්ශව වලින් ඉල්ලා සිටින බවද අගමැතිවරයා සිය කතාව අවසන් කරමින් කියා සිටියේය.

‘ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගහන්න බැහැ කියලා මිනිසුන්ට සල්ලි දීලා කෑ ගහන්න එපා, කාලය නාස්ති කරන්න එපා පාරට බැහලා, දාන හැම කෙනාට දහගුණයක් අපි පාරට දානවා’

ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත ආර්ථික ගිවිසුමට එරෙහිව පසුගිය දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තියවේදී සංගම් කිහිපයක් කොළඹ දී විරෝධතාවක් පැවැත්විය.