තොටළඟ නිවාස ප්‍රශ්නයක් නැහැ - ඇමති පාඨලී

තොටළඟ ඉවත් කළ අනවසර ඉදිකිරීම්වල සිටි පදිංචිකරුවන් සියලු දෙනාට ස්ථිර නිවාස රජය විසින් ලබා දී ඇතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම හේතුවෙන් අද සහ ඊයේ දින තොටළඟ ප්‍රදේශයේ පැවති විරෝධතාව ගැන මාධ්‍ය හමුවක අදහස් පළ කරමින්.

තොටළඟ කජිමා වත්තේ අනවසර ලෑලි නිවාස 50 කට අධික ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් ඊයේ කඩා ඉවත් කරන ලදී.

එම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කරන්නට වීමත් සමඟ එම පදිංචිකරුවන් ඊට විරෝධය පළකරමින් කලහකාරී ලෙස හැසිරෙනු දක්නට ලැබුණි.

ඉන් අනතුරුව ඊයේ පස්වරුවේ සිට අද උදෑසන දක්වා තොටළඟ , ජපන් මිත්‍රත්ව පාලම අසළ ඔවුන් විරෝධතාවයක නිරත වු අතර මේ හේතුවෙන් ඒ ආශ්‍රිතව රථ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබිණි.

මෙම විරෝධතාව ගැන අදහස් දක්වමින් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ තාවකාලිකව එම ප්‍රදේශයේ පදිංචිකර තිබු 35 දෙනෙකු හැර අනිකුත් සියළු පදිංචිකරුවන්ට රජය විසින් නිවාස ලබාදී තිබෙන බවයි.

Image copyright CR

‘කිසිම කෙනෙක්ට මෙතන නිවාස නැති ප්‍රශ්නයක් නැහැ, සෑම කෙනෙක්ට රජය නිවාස අයිතිය දුන්නා, පසුගිය ජනවාරි 12 වෙනිදා ඔවුන්ගේ නිවාස වල යතුර ඔවුන්ට ලබා දුන්නා’

නිවාස ලබා දීමෙන් අනතුරුව ජනවාරි 31 වැනි දිනවන විට එම අනවසර ඉඩමෙන් ඉවත් විය යුතු බවට ඔවුන්ට දැනුම්දී තිබුණු බව පැවසූ අමාත්‍යවරයා එම ස්ථානවල කුලියට පදිංචි වී ඇති අයට ද දෙසැම්බර් මාසය වන විට එතැනින් ඉවත් වන ලෙස දැනුම්දී තිබුණු බවයි සඳහන් කළේ

‘අපි දැක්ක දෙයක් තමයි හැම සෙනසුරාදා ඉරිදාම මේ ඉඩම අල්ලා ගෙන නිවාස හදනවා, විශේෂයෙන්ම මේ අන්තිම සෙනසුරාදා ඉරිදා ඇති විශාල පිරිසක් පැමිණ මේ ඉඩම් අල්ල ගන්න උත්සාහ කර තිබුණා, ඒ නිසා තමයි අපට ක්ෂණික පියවරක් ගන්න සිදුවුණේ’

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම නිවාසවල අයිතිය ඇති පුද්ගලයන් රජය ලබා දී ඇති නිවාස ලබාගෙන එම නිවාස වල පදිංචියට ගොස් ඇතත් මෙම නිවාස වල වසර ගණනාවක් කුලී පදනම මත ජීවත් වූ පුද්ගලයන් මේ හේතුවෙන් අසරණ තත්වයකට පත්ව ඇති බවයි.

කෙසේ වෙතත් නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ කුලී නිවාස වල සිටි පුද්ගලයන්ට නිවාස ලබා දීමට හැකියාවක් තමන්ට නොමැති බවයි.