නවසීලන්ත අගමැති ලබන සතියේ ශ්‍රී ලංකාවට

Image copyright Getty
Image caption දෙරටේ දේශපාලනික සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සංචාරයේ අරමුණයි

නවසීලන්ත අගමැති ජෝන් කී නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

පෙබරවාරි 24 සිට 26 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිත අග්‍රාමාත්‍ය ජෝන් කී ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

දෙරටේ දේශපාලනික සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සංචාරයේ අරමුණයි.

නවසීලන්ත අගමැතිවරයා සමග පැමිණීමට නියමිත එරට වෙළඳ නියෝජිතයන් 25 වනදා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ඇමතීමට නියමිතයි.

සංචාරය අතරතුර නවසීලන්ත අගමැති ජෝන් කී විසින් ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රීය සංගමයේ විධායක කමිටු රැස්වීමක මුලසුන දරනු ඇති බවත් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේය.