ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අගමැති ගැන වෛද්‍ය මතය

ඇහුම්කන් දීම, නම්‍යශීලී භාවය සහ නායකත්වයේ ගුණාංග අතින් අගමැති රනිල් වික්‍රමසිංහ තුළ දුර්වලතා පවතින බව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පසු ගිය දිනවල අගමැතිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය පිළිබඳව කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

‘වෘත්තියෙන් මම ස්නායු වෛද්‍යවරයෙක්. මට පේන හැටියට එතුමාගේ ඇහුන්කන් දීමේ, නම්‍යශීලී භාවයේ සහ නායකත්ව ගුණාංගවල ප්‍රශ්න කිහිපයක් තියෙනවා.’

ඔහු මේ බව කියා සිටියේ බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

Image copyright harin

'මුද්‍රණ දෝෂයක්'

පොතක තිබෙන මුද්‍රණ දෝෂයක් ගැන සොයා බැලීමට රහස් පොලිසිය යෙදවූ අතීතයක් පිළිබඳව මීට පෙර අසා නැති බවයි විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසන්නේ.

‘මේකෙදි අපිට පේනවා නිකං කරදර කිරීම් වගේ දේවල් වලින් යම්කිසි විදිහක තෘප්තියක් ලබන ආකාරයක්. මේක අවාසනාවන්ත තත්වයක්’ ඔහු පැවසීය. හඬ පටය අමුණා ඇත.

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් කළ ඉල්ලීමක් මත එම පරීක්ෂණය සිදු කරන බව, වෛද්‍යවරුන්ගෙන් කට උත්තර ලබා ගැනීමට පැමිණි රහස් පොලිස් නිලධාරීන් ප්‍රකාශ කළැයි රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේය.

'සම්පූර්ණයෙන්ම අසත්‍යයි'

කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ මෙම චෝදනා අසත්‍ය බවයි.

‘වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මට විරුද්ධව චෝදනාවක් කර තිබෙනවා. ඔවුන්ගේ කටයුතු පිළිබඳව සෙවීමට රහස් පොලිසිය යෙදවූවාය යන්න එම චෝදනාවයි. මාධ්‍ය කීපයකුත් මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර තිබුණා. මොවුන් නගන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍යයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට විරුද්ධව පොලිසියට විශේෂ පැමිණිල්ලක් කර තිබෙනවා. පොලිසිය එම පැමිණිල්ල විභාග කර තිබෙනවා. අපි පොලිසියට බලපෑම් කරන්නේ නැහැ’ අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය හිටපු ජනපති ‘මහින්ද රාජපක්‍ෂ පසුපස යන සංගමයක්’ බවට අගමැතිවරයා කළ ප්‍රකාශය විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ප්‍රතික්‍ෂේප කරයි.