දළදා මාළිගාව ඉදිරිපිට ගැටුම්

Image copyright b

දළදා මාළිගය අසලින් දිවෙන දැනට වසා දමනු ලැබ ඇති මහනුවර - මහියංගනය මාර්ගය විවෘත කරන ලෙස ඉල්ලා සිටිමින් අද (19) දහවල් පැවති මහජන උද්ඝෝෂණය ගැටුමකින් නිම විය.

වසා දමනු ලැබ ඇති මාර්ගය විවෘත කරන මෙන් ඉල්ලා සිටීමේ උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කරනු ලැබ තිබුණේ මහනුවර පරිසර සහ සෞඛ්‍යය සුරැකීමේ සංවිධානය විසිනි.

මහනුවර බූවැලිකඩ මංසන්ධියේ දී ඔවුන්ගේ විරෝධතා ව්‍යාපාරය ආරම්භ කෙරුණ අතර අනතුරුව සිවිල් සංවිධාන ක්‍රියාධරයන් සහ ප්‍රදේශවාසීන්ගෙන් යුත් තුන්සීයක පමණ කණ්ඩායමක් පාගමනින් පැමිණෙමින් සිටියදී මාර්ගය විවෘත කිරීමට එරෙහි කණ්ඩායමක් ධර්මපාල මාවතේ දී මුහුණට මුහුණලා හමු වීමෙන් පසුවයි ගැටුම ආරම්භ වී තිබෙන්නේ.

ගැටුමට මැදි වූ පුද්ගලයෙක් රෝහල්ගත කෙරුණ බවත් වාර්තා වෙයි.

Image copyright b

මාර්ගය විවෘත කරන ලෙස ඉල්ලා සිටින කණ්ඩායම් කියා සිටින්නේ එය වසා තබනු ලැබීම නිසා රථ වාහන තදබදයක් මෙන්ම මහජනයාට වෙනත් මාවත් ඔස්සේ අතිරේක දුරක් ගමන් ගැනීමට සිදු වී ඇති බවයි.

විකල්ප මාර්ග

එහෙත් මේ වන විට විකල්ප මාර්ග හඳුන්වා දී තිබීමත් සමඟ එවැනි බරපතළ ගැට‍ළුවක් දැන් නොමැති බවයි මාර්ගය වසා තැබීම අනුමත කරන සංවිධාන සහ පුද්ගලයන් පවසන්නේ.

Image copyright b

මහනුවර - මහියංගනය මාර්ගය වසා දමන ලද්දේ කොටි සංවිධානය දළදා මාළිගය ඉලක්ක කොට 1998 ජනවාරි 25 වෙනි දින එල්ල කරන ලද ප්‍රහාරයෙන් අනතුරුවයි.

මේ වනවිට එවැනි යුදමය වාතාවරණයක් නොමැති හෙයින් මාර්ගය විවෘත කිරීමේ වරදක් නොවන බව මලවතු පාර්ශ්වයේ මහනායක හිමියන් පවසන නමුත් අස්ගිරි පාර්ශ්වය ඒ සම්බන්ධයෙන් දරන ලද්දේ වෙනත් අදහසකි.

මහනුවර -මහියංගන මාර්ගය විවෘත කිරීමට පක්ෂව සහ විපක්ෂව අද (19) ගෙන ගිය උද්ඝෝෂණ වල දී බෞද්ධ භික්ෂූන් වහන්සේ එම දෙපාර්ශවය තුළම සිටිනු දක්නට ලැබුණි.