ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"අතුරුදහන්වූවන්ගේ පවුල්වල ඥාතීන්ට බිය වැද්දීම්"

අතුරුදහන්වූවන්ගේ පවුල්වල ඥාතීන්ට බිය වැද්දීම් සිදු කෙරෙන බව අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් සොයා බලන ක්‍රියාකාරීන්ගේ වගතුග ද සොයා බැලෙන බවයි අතුරුදහන්වූවන් පිළිබඳව සොයා බලන විශේෂ කාර්ය සාධක බලකායේ විශේෂ උපදේශන කමිටුවේ ද සාමාජිකයකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු සංදේශයට පැවසුවේ.

පසුගිය දිනවල දී තම සංවිධානය මඩකලපුව, අම්පාර සහ මොනරාගල යන ප්‍රදේශවල අතුරුදහන්වීම්වලට ගොදුරු වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ තොරතුරු රැස් කිරීමේ ක්‍රියාවලියේදී එවැනි සිද්ධීන්වලට මුහුණ දුන් බවයි ඔහු පැවසුවේ.

තොරතුරු විමසීම

දුරකථන ඇමතුම් මගින්ද විමසීම් කර ඇති බව පවසන අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු පොලීසියේ යයි පැවසෙන රාජකාරී නිල ඇඳුම් පැළඳ නොගත් පුද්ගලයන් තම රැස්වීම් පැවැත්වෙන ස්ථාන, සහ ඒවාට සහභාගි වන පුද්ගලයන් ගැන තොරතුරු විමසා ඇති බව ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් විශේෂයෙන් දෙමළ ක්‍රියාකාරිනියන් බියට පත්ව සිටින බවයි ඔහු පැවසුවේ.

පැමිණිලි

මේ සම්බන්ධයෙන් තමන්ට පැමිණිලි ලැබී ඇති බවයි ජාතික සංවාද ඇමති මනෝ ගනේෂන් අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ.

ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා, අදාළ අමාත්‍යවරුන්, ආරක්ෂක ලේකම්වරයා මෙන්ම පොලිස් සහ ආරක්ෂක ප්‍රධානීන්ද දැනුවත් කොට ඇති බවත් ඔහු පැවසුවේය.

මේ ප්‍රශ්නය සාකච්ඡා කිරීම පිණිස පොලිසියේ විෂය භාර අමාත්‍ය සාගල රත්නායක, රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමති රුවන් විජේවර්ධන, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, උතුරු සහ නැගෙනහිර පලාත් බාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් ලබන සතියේ කැඳවා ඇති බවත් ජාතික සංවාද ඇමති මනෝ ගනේෂන් තවදුරටත් ප්‍රකාශ කළේය.