වෙළෙඳ ගිවිසුම් නතර කරන්නේ නැහැ-රනිල්

Image copyright b

කවර බාධා කිරීම් සිදු කෙරුණත් ආණ්ඩුව විසින් සැලසුම් කරන ලද වාණිජ ගිවිසුම් අත්සන් තබන බව අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියි.

අගමැතිවරයා එම ප්‍රකාශය කළේ අද (20) හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදු කරන ලද නිරීක්ෂණ සංචාරයක් අතරවාරයේ අදහස් දක්වමිනි.

එම නිරීක්ෂණ චාරිකාවට හම්බන්තොට මාගම්පුර වරාය,ඇතුළු ව්‍යාපෘතීන් කීපයක් ම ඇතුළත් විය.

හම්බන්තොට වරාය ඉදිරි ආර්ථික සංවර්ධන කටයුතු සඳහා උපයෝගී කර ගන්නා බව සඳහන් කළ අගමැති රනිල් වික්‍රමසිංහ නැව් අලුත්වැඩියාව සහ තෙල් පිරිපහදුව වැනි ව්‍යාපෘතීන් සඳහා යොදවන අතර චීන සමාගමක් තවත් අක්කර දහසක් ඉල්ලා ඇති බවයි කියා සිටියේ.

ඊට අමතරව තාක්ෂණ මධ්‍යස්ථානයක් ද ඇති කරමින් තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කිරීමට පියවර ගන්නා බවත් අගමැතිවරයා පවසයි.

සමස්ත රට ගත් විට රැකියා දශ ලක්ෂයක් බිහි කරනු ලැබීම ආණ්ඩුවේ ඉලක්කය වන බවයි අගමැති වික්‍රමසිංහ පවසන්නේ.

රැකියා දශ ලක්ෂයක්

ඒ සඳහා වෙළෙඳපොල පුළුල් කළ යුතුව ඇතැයි සඳහන් කළ අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය පාලනය විසින් ශ්‍රී ලංකාවට තිබුන ජී.එස්.පී සහනය පවා නැති කර ගන්නා ලද බවයි පෙන්වා දුන්නේ.

රැකියා වැඩිකර ගැනීම සඳහා වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහා එක්සත් ජාතික පෙරමුණ පසුගිය මහ මැතිවරණයේ දී මහජන වරමක් ඉල්ලා සිටි අතර එම ජන වරම ලද බවයි අගමැතිවරයා පවසන්නේ.

ඒ අනුව ඉන්දියාවත් සමඟ අත්සන් කිරීමට සැලසුම් කරන වෙළෙඳ ගිවිසුමට වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු සංවිධාන විරෝධය පළ කලත් එය නතර නොකරන බවයි අගමැති වික්‍රමසිංහ කියා සිටියේ.

වෘත්තීය සංවිධාන කීපයක් ‘ප්‍රතිවාදීන්’ යළි බලයට ගෙන ඒමට උත්සාහ කළත් ඊට ඉඩ නොදෙන බවයි අගමැතිවරයා අවධාරණය කළේ.

බොරු ගිවිසුමක්

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඔවුන්ගේ වෙබ් අඩවියේ පළ කරනු ලැබ තිබෙන්නේ ‘බොරු ගිවිසුමක’ පිටපතක් වන බවත් අගමැතිවරයා පවසයි.

මාධ්‍ය ආයතන ගැන සඳහන් කළ අගමැතිවරයා තරුණ රැකියා නැති කරන අයට විකාශන අයිතිය නොදෙන බවයි කියා සිටියේ.

Image copyright b

වෛද්‍ය වැඩ වර්ජන තර්ජන එල්ල කෙරුණත් ඒවා ජනතාව මරා දමන ක්‍රියාමාර්ග වන බවයි අගමැතිවරයාගේ විග්‍රහය වුණේ.

අත්සන් කරනු ලබන වෙළෙඳ ගිවිසුම් මගින් භාණ්ඩ අපනයනයට දොරටු විවෘත කෙරෙන අතර එම ගිවිසුම් නිසා වෘත්තිකයන් රටට ගලා ඒමක් නොවන බවයි අගමැති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියේ.