'බෞද්ධ භික්ෂුවම ඉලක්ක කර ගත් ක්‍රියාවලියක්'

බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිවිල් වැරදි සඳහා අත්අඩංගුවට ගැනීමේ දී අඩුම තරමින් උන්වහන්සේලා අයිති නිකායන්වල මහ නායක හිමිවරුන්ගේ අනුමැතිය ලබාගැනීම සිදු කල යුතු බව ජාතික හෙළ උරුමය පවසයි.

ජාතික හෙළ උරුමය වෙනුවෙන් අමාත්‍ය චම්පික රණවක මේ බව පැවසුවේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත දැනට අත්අඩංගුවේ පසුවන බොදු බල සේනා, රාවනා බලය හා සිංහල රාවය හිමිවරුන් ගැන ජාතික හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින්.

'අපරාධ නීතියට වැටෙන වැරදි වල දී අපි කිසිසේත්ම ඉල්ලා සිටින්නේ නැහැ එවැනි තත්වයක්, සිවිල් උද්ඝෝෂණ සමාජ ක්‍රියාවලියන් වැනි කරනා වල දී භික්ෂුත් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ දී අඩුම තරමින් උන්වහන්සේලාගේ නිකායන්වල මහ නායක හිමිවරුන්ගේ අනුමතිය ඇතිව ඒ කටයුත්ත සිදු කල යුතු වෙනවා' ඇමතිවරයා ප්‍රකාශ කළේය.

බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අමතරව අන් ආගමික පුජකවරුන් අත් අඩංගුවට ගැනීමේ දීද එම ක්‍රියා පිළිවෙතම අනුගමනය කල හැකි බවයි අමාත්‍යවරයා පැවසුවේ.

අධිකරණයට අපාහස කිරීම හේතුවෙන් දැනට අත්අඩංගුවේ පසුවන බොදු බල සේනා, රාවනා බලය හා සිංහල රාවය හිමිවරුන් ගැන අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ නීතිය යොදා ගෙන බෞද්ධ භික්ෂුව ඉලක්ක කර ගෙන යම් ක්‍රියාවලියක් සිදුවනවා දැයි සැකයක් මතු වන බවයි.

'උසාවියට අපහාස කළා කියන කාරණයට දේශපාලකයන් පිරිසක් මැදි වුනාම ඒ පිරිස එක් දිනක් ඇතුළත ඇපදී නිදහස් කළා, මේ නිසා නීතිය පිළිබඳව බෞද්ධ භික්ෂුවම ඉලක්ක කර ගත් යම් ක්‍රියාවලියක් සිදුවනවාද කියන එක අපිට පෙනිලා තියෙන්නේ' ඔහු පවසයි.

සිවුරේ ගරුත්වයට හානි දායක ලෙස හැසිරෙන බවට භික්ෂූන් වහන්සේලාට එල්ල වෙන චෝදනා සම්බන්ධයෙන් මහ නායක හිමිවරුන් හා භික්ෂූන් වහන්සේලා එක්ව කතිකාවක් ඇති කර ගත යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.