ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල ඡන්ද විමසීම කල් යයි

Image copyright EPA
Image caption නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා සියලු ජන කොට්ඨාශ සහ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු සාමාජිකයන් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි ආණ්ඩුවේ යෝජනාව වී ඇත්තේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පිහිටුවීම පිළිබඳ හෙට බදාදා පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු ඡන්ද විමසීම කල් තැබීමට තීරණය කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට දැනුම් දෙයි.

ඒ සම්බන්ධයෙන් වූ යෝජනාව 23 සහ 24 යන දෙදින තුළ පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

''මේ පිළිබඳ විශේෂයෙන්ම වැදගත් කරණය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිළිබඳ යෝජනාව ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ වගේම තවත් පක්ෂත් සංශෝධන ගණනාවක් ඉදිරිපත් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ බලතල, ආකෘතිය, වපසරිය ගැන විවාදයක් තිබුණු බව ඔබ දන්නවා.''

ඒ සම්බන්ධයෙන් පැවති පක්ෂ විපක්ෂ අදහස් පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමු කොට එකී අදහස්වලට ගරු කොට සංශෝධිත යෝජනාව අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

''ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ යෝජනා සියල්ලම අපි පිළි අරගෙන තිබෙනවා.''

Image copyright Ajith P Perera
Image caption 'මේ පිළිබඳ විශේෂයෙන්ම වැදගත් කරණය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිළිබඳ යෝජනාව ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ වගේම තවත් පක්ෂත් සංශෝධන ගණනාවක් ඉදිරිපත් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ බලතල, ආකෘතිය, වපසරිය ගැන විවාදයක් තිබුණු බව ඔබ දන්නවා.'

ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරි පත් කෙරුණේ පසුගිය ජනවාරි 09 වනදායි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා සියලු ජන කොට්ඨාශ සහ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු සාමාජිකයන් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි ආණ්ඩුවේ යෝජනාව වී ඇත්තේ.

ව්‍යවස්ථා සම්පාදනය සඳහා සියලු පක්ෂවල අදහස් සහ යෝජනා ලබා ගැනීම එහි අරමුණ වී ඇති බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කළේ.

අභිනවයෙන් පත් කර ගනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය මගින් සම්පාදනය කරනු ලබන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් සම්මත විය යුතු අතර එලෙස සම්මත කර ගනු ලබන පනත් කෙටුම්පත ජනමත විචාරණයක දී මහජන අනුමැතියෙන් ද සම්මත වුනොත් පමණක් එය රටේ මූලික නීතිය ලෙස පිළිගත යුතු බවයි එම අවස්ථාවේ අගමැතිවරයා සඳහන් කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර