ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

එංගලන්තයට සහය දීම ගැන ක්‍රිකට් සභාපතිගෙන් මහේලට චෝදනා

ශ්‍රී ලංකා කණ්ඩයමේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන එංගලන්ත විස්සයි විස්ස කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කිරීම ගැන තමන් කනගාටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පවසයි.

මෑතක් වන තුරු ම ජාතික කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩකයෙකු එලෙස වෙනත් කණ්ඩායමකට සහය දීම සුදුසු නොවන බවයි ක්‍රිකට් සභාපතිවරයා අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක දී පැවසුවේ.

‘මහේල දැන් අපේ ප්‍රතිවාදීන්ගේ උපදේශකයෙක්, කණ්ඩායමකට ක්‍රීඩා කරලා ඉවත් වෙලා මාස කිහිපයකින් තව කණ්ඩායමකට තමන්ගේ රටට එරෙහිව උපදෙස් දීම හොඳ දෙයක් නෙවෙයි’

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගි වන එංගලන්ත කණ්ඩායම දින 10 ක කාලයක් උපදේශකයෙක් ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පත් කල බවට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය මින් පෙර නිවේදනය කර තිබුණි.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ මුලික වටයේදී ශ්‍රී ලංකාව එංගලන්තය හා තරග වැදීමට නියමිතයි. එලෙස තරඟ කරන කණ්ඩායමකට, කණ්ඩායමේ මෑතක් වන තුරු සිටි ක්‍රීඩකයෙකු සහය දැක්වීම සුදුසු නොවන බවයි ක්‍රිකට් සභාපතිවරයා පෙන්වා දුන්නේ.

‘මෙය මහේලගේ වරදක් නොවෙයි, ක්‍රිකට් පරිපාලනයේ ගැට‍ළුවක්, අපි මින් පස්සේ ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත්තුවලට ඇතුලත් කරනවා විශ්‍රාම ගිහිල්ලා වසරක් වත් යන තුරු වෙන කණ්ඩායම් වල පුහුණුකරුවන් ලෙස කටයුතු කරන්න බැහැ කියලා’

කුසල් පෙරේරා

විස්සයි විස්ස ලෝක කුසලානයට පකිස්ථාන කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සම්බන්ධකර ගැනීමට උත්සාහ ගන්නා බව පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයා විසින් පවසා තිබුණි.

මේ අතර තහනම් උත්තේජන භාවිතය පිළිබඳ චෝදනා මත තාවකාලික තරඟ තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ඉදිරි සති කිහිපය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවත්වන පරීක්ෂණයට මුහුණ දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා පැවසූවෙය.

කුසල් පෙරේරාට විස්සයි විස්ස ලෝක කුසළානය අහිමිවුවත් ඔහුට ඉන් පසු පැවැත්වෙන තරඟාවලියට සහභාගිවීමට අවස්ථාව හිමිවිය හැකි බවයි ඔහු සඳහන් කළේ.