නව ව්‍යවස්ථාව: 'මානව හිමිකම් උල්ලංඝනයන්ට කඩිනම් විසඳුම්'

Image caption නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සඳහා වන කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක

මානව හිමිකම් උල්ලංඝනය වීම් හා සම්බන්ධ සිදුවීම්වලදී ඒ සඳහා කඩිනමින් සහන සලසා ගත හැකි ව්‍යුහයක් සැකසීමේ අවශ්‍යතාව පොදුවේ සෑම ප්‍රදේශයකම ජනතාව අවධාරණය කරන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සඳහා වන කමිටුව ප්‍රකාශ කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හෝ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී ප්‍රධාන වශයෙන් අදහස් පළ කෙරෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම වැනි කරුණු සම්බන්ධයෙනුයි.

එසේ නමුත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී තම දෛනික ගැටලුවලට පිළියම් සපයා ගත හැකි සංශෝධන ඇතුළත් කරන මෙන් පොදුවේ රටවැසියන් ඉල්ලා සිටින බවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සඳහා වන කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක පෙන්වා දෙන්නේ.

උතුරු නැගෙනහිර පලාත්වල ජනතාව සහ සංවිධාන බලය බෙදාහැරීම පිළිබඳ විවිධ යෝජනා ඉදිරිපත් කළ බවද ඔහු සඳහන් කළේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳමහජන අදහස් විමසීම මාර්තු මස 31 වනදා වන විට අවසන් කිරීමට නියමිත බව පැවසු කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක කමිටු වාර්තාව අප්‍රේල් මස 31 වනදාට පෙර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර