HIV භීතිය නිසා කුලියාපිටියේ පාසල අදත් පාළුයි

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

එච්අයිවී අසාදිත වී ඇති බවට සැක කෙරුණ කුලියාපිටියේ දරුවා ඇතුළත් කෙරුණු පාසල දින දෙකකට වසා තැබෙන බව එහි විදුහල්පතිවරයා පවසයි.

සිය දරුවා පාසලට රැගෙන එමෙන් වැළකී සිටින ලෙස පාසල් විදුහල්පතිවරයා ඇතුළු ප්‍රාදේශීය අධ්‍යාපන බලධාරීන් තමාට දැන්වූ බව දරුවාගේ මව පවසයි.

පාසලේ සෙසු දරුවන් අද සඳුදා පාසලට පැමිණ නොමැත.

පාසල වෙත පැමිණි ජාතික මානව හිමිකම් මණ්ඩලයේ සාමාජිකයන් අනතුරුව හය හැවිරිදි පිරිමි දරුවාගේ නිවසට ගොස් තොරතුරු විමසා ඇත.

පාසල් කාර්යමණ්ඩලය සේවයට වාර්තා කර තිබෙන අතර පාසල් පිවිසුම ඉදිරිපිට සෙසු දරුවන්ගේ දෙමව්පියන් රැඳී සිටින බවයි ප්‍රසාද් පූර්ණිමල් ජයමාන්න සංදේශයට කියා සිටියේ.

යමි කිසි පිරිසක් විසින් ප්‍රදේශයේ මාර්ග සංඥා මත මිනිස් හිස් කබලක් සහිත අනතුරුදායකයි යන සංඥා පින්තාරු කොට ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

එච්අයිවී

ඉහත කී දරුවාගේ පියා කලකට පෙර මිය ගොස් ඇති අතර සිය සැමියා එච්අයිවී ආසාදිතයකු බවට රාවයක් පැතිර ගොස් ඇති බවයි දරුවාගේ මව සංදේශයට කියා සිටියේ.

තම දරුවා එච්අයිවී ආසාදිතයකු නොවන බව ඔහුගේ රුධිර පරීක්ෂණ වාර්තාවේ පැහැදිලිව සඳහන් වන බව මව දරුවාගේ කියා සිටියි.

අවට වාතය හරහා හෝ ස්පර්ශය හරහා එච්අයිවී වයිරසය ආසාදනය නොවන බව වෛද්‍ය මතයයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව 2014 වසරේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති එච්අයිවී ආසාදිත වැඩිහිටියන්ගේ සංඛ්‍යාව 3200ක්.

එම වාර්තාවට අනුව එම වසරේ වාර්තා වී ඇති එච්අයිවී ආසාදිත ළමුන් සංඛ්‍යාව 100ක්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර