චෙන්නායි සහ යාපනයේ ධීවර විරෝධතා

Image caption ඉන්දීය ධීවරයන්ගේ 'බලපෑම්වලට' එරෙහිව යාපනයේ පැවති පා ගමන

ධීවර ප්‍රශ්න මුල් කර ගනිමින් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ධීවරයෝ දෙරටේ මහ කොමසාරිස් කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වෙමින් සිටියහ.

උතුරේ ධීවරයෝ යාපනය නගරයේ පාගමනක් සංවිධානය කොට තිබුණේ ඉන්දීය ධීවරයන්ගෙන් තම රැකියාවට එල්ල වන බලපෑම්වලට විරෝධය පළ කරමිනි.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත පාගමනින් ගිය ශ්‍රී ලාංකික ධීවරයෝ සිය ගැට‍ළු සඳහන් කොට යාපනයේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට සන්දේශයක් බාර දුන්හ.

උතුරේ ධීවර කණ්ඩායම් ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ශ්‍රී ඒ නටරාජාගෙන් ඉල්ලා සිටියේ එරට ධීවරයින් උතුරු මුහුදු සීමාවට පැමිණ බලහත්කාරයෙන් මසුන් මැරීම නවතා දෙන ලෙසයි.

එම අවස්ථාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා පැවසුවේ පසුගිය කාලය හා සැසඳීමේදී ශ්‍රී ලංකා මුහුදු කලාපය වෙත ඇතුළු වන ඉන්දීය ධීවරයින්ගේ සංඛ්‍යාව පහළ ගොස් ඇති බවයි.

ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවට නොපැමිණෙන මෙන් බලධාරීන් නිරන්තරයෙන් අවවාද කරන බවත් එම අවවාද නොතකන ධීවරයින් පමණක් එලෙස මුහුදු සීමාවෙන් ඔබ්බට පැමිණෙන බවත් ඔහු සඳහන් කළේය.

2013 වසරේදී ඉන්දීය ධීවරයින් 350 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් 2014 දී අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 750 දක්වා ඉහළ ගොස් ඇති බවත් නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා කියා සිටියේය.

Image caption චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණය

ඉහත කී සංඛ්‍යාව 2015 වසරේදී ආසන්න වශයෙන් 300 ක් දක්වා අඩු වී ඇති බැවින් ඉදිරියේදී ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ බවට පුවත් ඇසීමට ඉඩ නොතබනු වස් ඉන්දියාව කටයුතු කරමින් සිටින බවයි ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලාංකික ධීවරයින් ඉන්දීය මුහුදු සීමාව ආක්‍රමණය කොට මසුන් මැරීම පිළිබඳ ඉන්දියාව දැඩි අවධානයෙන් සිටින බවත් එරට නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කොට ඇත.

ශ්‍රී ලංකාවේ ධීවරයන් සිය මුහුදු සීමාව උල්ලංඝනය කරන බවට චෝදනා කරමින් ඉන්දීය ධීවරයන්ගේ සහභාගීත්වයෙන් පැවති උද්ඝෝෂණය සංවිධානය කොට තිබුණේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නුවරදී.

ඉහත කී විරෝධතාව පැවති චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට කලබලකාරී වාතාවරණයක් පැවති බවයි වාර්තා වන්නේ.

විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටි ඉන්දීය ධීවර නායකයන් බීබීසී දෙමළ සේවයට ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ධීවරයන් සහ ඔවුන්ගේ බෝට්ටු නිදහස් කිරීමට ඉන්දියාව ක්‍රියා කලත් ඉන්දීය ධීවරයන්ට ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් එවැනි සහනයක් නොලැබෙන බවයි.

ඒ සඳහා පියවර නොගන්නා බවට ධීවර නායකයෝ ඉන්දීය මධ්‍ය ආණ්ඩුවට චෝදනා කළහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර