ජනපති මෛත්‍රී ශ්‍රීලනිප රකින්නේ නෑ - මහින්ද

Image copyright Getty

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පක්ෂ නායකත්වය භාරගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) එක්සත් ජාතික පක්ෂයේ සිරකරුවකු බවට පත් වී ඇතැයි පක්ෂයේ හිටපු නායකයා පවසයි.

එජාප ආධාරකරුවන්ගේ ඡන්දවලින් බලයට පත් වූ නමුත්, ශ්‍රීලනිපයේ නායකත්වයට පත්වීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමනුත්, පක්ෂයත් ආරක්ෂා කරනු ඇතැයි පාක්ෂිකයන් බලාපොරොත්තු වූ බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපපක්ෂ පවසන්නේ.

සිය පාලන සමය තුල 'පක්‍ෂ ඉතිහාසයේ ශක්තිමත්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුව ගොඩ නැගීමට හැකි වූ බව පවසන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, වර්තමානයේ ශ්‍රීලනිපයේ 'අනන්‍යතාවය නැතිවීමේ අවදානමක්' පැන නැගී තිබෙන බවත් සඳහන් කරන්නේ පක්ෂයේ අර්බුදය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින්.

'කුමන්ත්‍රණයක්'

මේ තත්වය යටතේ පක්ෂයේ අනන්‍යතාවය රැකගැනීමට උත්සාහ දරන පිරිස් 'විවිධ පීඩනවලට' ලක් කෙරෙන බව මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසන්නේ, ජනාධිපතිවරයා විසින් ප්‍රසන්න රණතුංග සහ දිලුම් අමුණුගම මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකගේ පක්ෂ සංවිධායක තනතුරු අහිමි කිරීම උදාහරණ වශයෙන් දක්වමින්.

"එවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස ආසන සංවිධායක කම්වලින් ඉවත් කිරීමෙන් පක්‍ෂ නායකත්වය ඉටු කරන්නේ කාගේ උවමනාවදැයි සියළුම පාක්‍ෂිකයන් කල්පනා කර බැලිය යුතුය," යනුවෙන්ද නිවේදනයේ සඳහන්.

ආණ්ඩු විරෝධී, එක්සත් ජාතික පක්‍ෂ විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව පැවැත්වෙන දූෂණ සහ වංචා විමර්ශන 'එක්සත් ජාතික පක්‍ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහමුලින්ම විනාශ කිරීමට ගෙන යන කුමන්ත්‍රණයක්,' බව හිටපු ජනාධිපතිවරයාගේ විග්‍රහයයි.

එබැවින් වඩාත් වැදගත් වන්නේ එක්සත් ජාතික පක්‍ෂ ප්‍රමුඛ ආණ්ඩුවද නොඑසේනම් එජාප විරෝධී පදනමක් මත ජනතා නියෝජිතයින් ලෙසින් පාර්ලිමේන්තුවට පත්කර යැවූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඡන්දදායකයන්ද යන්න ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් තීන්දු කල යුතුව තිබෙන බවත් නිවේදනයේ සඳහන්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර