ශ්‍රීලනිප අර්බුදය: සංවිධායකවරුන් ඉවත් කළේ 'ඉවසා බැරිම තැන'

Image copyright AFP
Image caption ''බැරිම තැන තමයි සංවිධායක දුරවලින් ඇතැමුන් ඉවත් කළේ''

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පක්ෂ නායකත්වය භාර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ සිරකරුවකු බවට පත් වී ඇතැයි පක්ෂයේ හිටපු නායක මහින්ද රාජපක්ෂ එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව ශ්‍රීලානිපය පවසයි.

අද කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍ය මහින්ද සමරසිංහ කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සැම විටම උත්සහ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට බවයි.

ජනාධිපතිවරයා ඇතැම් මන්ත්‍රීවරුන් ආසන සංවිධායක තනතුරු වලින් ඉවත් කළේ 'ඉවසා බැරිම තැන' යැයි ඔහු සඳහන් කළේය.

''බැරිම තැන තමයි සංවිධායක දුරවලින් ඇතැමුන් ඉවත් කළේ, ජනාධිපතිතුමාට අභියෝග කරන සමහරු ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවට ආපු අය, ජ්‍යෙෂ්ඨයෝ නෙවෙයි''

අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන එහෙදී කියා සිටියේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීම සඳහා 2015 ජනාධිපතිවරණය අවසන් වූ වහාම මහා මැතිවරණය පැවැත්වීමට ක්‍රියා නොකළ බවයි.

පරාජිතයන්

Image caption ''දිනපු සංවිධායකවරු ඉවත් කරලා පරාජිත මිනිස්සු දැම්මම ඒ වාසිය යන්නේ එක්සත් ජාතික පක්ෂයට''

'එහෙම කළා නම් අද පාර්ලිමේන්තුව තුල ආසන 40ක් වත් නැහැ, ඒ වගේම පළාත් පාලන ආයතන විසුරුවා හැරියා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත් වන ඉරණම ගැන ඔය කවුරුත් කතා කරන්නේ නැහැ'

කෙසේ වෙතත් අද කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් නිදහස් පක්ෂ මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ප්‍රශ්න කළේ දිනූ සංවිධායකවරුන් ඉවත් කර පරාජිතයන් පත් කිරීමෙන් වාසියක් අත් වන්නේ කාටද යන්නයි.

''දිනපු සංවිධායකවරු ඉවත් කරලා පරාජිත මිනිස්සු දැම්මම ඒ වාසිය යන්නේ එක්සත් ජාතික පක්ෂයට, ඒක තමයි හිටපු ජනාධිපතිතුමා නිවේදනයකින් පක්ෂයට කිව්වේ''

නව පක්ෂයක් බිහි කිරීමට තීරණයක් ගෙන නොමැති බවයි බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසුවේ.