බිම්බෝම්බ වලට ශ්‍රී ලංකාවේ තැනක් නෑ

Image copyright Getty

පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීමේ සම්මුතිය හෙවත් ඔටාවා ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තැබීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

නිරායුධකරණය සම්බන්ධ මෙම ඓතිහාසික සම්මුතියට සම්බන්ධ වෙන සෑම රටක්ම ඔවුන් සතුව ඇති පුද්ගල නාශක බෝම්බ තොග විනාශ කිරීමට බැඳී සිටියි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා කියා සිටියේ 1997 වර්ෂයේ පිහිටුවනු ලැබූ ඔටාවා සම්මුතියට මේ වන විට රටවල් එකසිය හැටකට අධික ප්‍රමාණයක් අත්සන් තබා ඇති අතර එකඟ නොවූ රටවල් තිස් ගණන අතර සිටි ශ්‍රී ලංකාව සම්මුතියට අත්සන් තැබීමට එකඟ වීම සන්තෝෂයට කරුණක් බවයි.

Image copyright AFP

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුවත් බිම් බෝම්බ ජීවිත රැසක් බිලි ගත් බව පෙන්වාදුන් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ නැවතත් ලංකාව යුද්ධයකට නොයන බවත් රටේ සාමය ස්ථාපිත වී ඇති බවත් ලොවට ප්‍රදර්ශනය කෙරෙන මෙම පියවරට අද දිනයේ කැබිනට් අනුමැතිය ලැබුණු බවයි.

මේ තුලින් බිම් බෝම්බ නිෂ්පාදනය, ප්‍රවාහනය, ගබඩා කිරීම සහ විශේෂයෙන්ම බිම් බෝම්බ භාවිතයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් වීමට ශ්‍රී ලංකාව එකඟ වූ බවයි ඔහු කියා සිටියේ.

එපමණක් නොව සම්මුතියට ගරු කරමින් ඉදිරියේදී රජය සතු බිම් බෝම්බ සංචිත සියල්ල විනාශ කිරීමටත් රජය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පැවසුවේය.