ඉන්දියානුවන් ගණනාවක් පොලිස් අත්අඩංගුවේ

Image copyright AFP
Image caption වකුගඩු බද්ධ කිරීමකට සැරසෙන බටහිර වෛද්‍යවරයෙක්

කේ.එස්.උදයකුමාර්

කොළඹ

අනවසරයෙන් කොළඹ නගරයේ රැඳී සිටි ඉන්දියානුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

වීසා නොමැතිව රැඳී සිටීම නිසා අත්අඩංගුවට ගත් එම පුද්ගලයන් දෙදෙනා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නීතියට පටහැණිව සිදු කෙරෙන වකුගඩු ජාවාරමට සම්බන්ධ බවට සැක කළ හැකි තොරතුරු හෙළි වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි පොලිස් වාර්තා මගින් පැවසෙන්නේ.

එම සැකකරුවන්ගේ උදරය ප්‍රදේශයේ කැපුම් තුවාල දක්නට තිබෙන බව පවසන පොලිස් ආරංචි මාර්ග ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ වකුගඩු විකිණීමක නිරත වී ඇද්දැයි සැකයක් ඇති වී තිබෙන හෙයින් ඒ පිලිබඳව පරීක්ෂණ පවත්වන බවයි කියා සිටින්නේ.

ඒ අනුව ඔවුන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන බවත් පොලිස් ආරංචි මාර්ග වලින් පැවසෙයි.

Image caption වකුගඩු විකුණූ බංග්ලාදේශ් වැසියෙක්

මේ අතර වීසා බලපත්‍ර නොමැතිව කොළඹ නගරයේ රැඳී සිටි තවත් ඉන්දීය ජාතිකයින් හය දෙනෙකු ද ඊයේ රාත්‍රියේ අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

තවත් අත්අඩංගුවට ගැනීම්

වැල්ලවත්ත ප්‍රදේශයේ තාවකාලික ලැගුම් හලක රැඳී සිටියදී ඔවුන් අත් අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

එම ඉන්දියානු ජාතිකයන්ගේ වීසා බලපත්‍ර කල් ඉකුත් වී ඇති අතර ආගමන හා විගමන පනත යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර සුදුසු නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර ඇත..

ඉහත කී පුද්ගලයන්ට අමතරව නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවේ රැඳී සිටි බවට චෝදනා කරමින් ඉන්දීය ජාතිකයන් තවත් කීප දෙනෙක් උතුරු, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල දී අත් අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙයි.