ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

HIV භීතිය: කුලියාපිටිය දරුවාට ජනපතිගෙන් පොරොන්දුවක්

එච්අයිවී ආසාදිත බවට පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් පාසල් අධ්‍යාපනය අහිමිව සිටින කුලියාපිටියේ දරුවාගේ ඉදිරි පාසල් ගමන සම්බන්ධයෙන් ආණ්ඩුව මැදිහත් වී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

සමාජ සවිබලගැන්වීම් හා සුබ සාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදී සිසුන් කීපදෙනෙක් එච්අයිවී ආසාදිත බවට පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් පාසල් අධ්‍යාපනය අහිමිව සිටින කුලියාපිටියේ දරුවාගේ නිවසට ගොස් තොරතුරු විමසූහ.

එම අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ ජංගම දුරකතනය ඔස්සේ සම්බන්ධ වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 'ආණ්ඩුවේ මැදිහත් වීමෙන් දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව' දරුවාගේ මවට ප්‍රකාශ කළ බවයි බීබීසී සංදේශය ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රසාද් පුර්නිමාල් ජයමාන්න කියා සිටියේ.

'අපි ඉස්කෝල ප්‍රශ්නේ විසඳලා දෙන්නම්. ඒ ගැන බය වෙන්න එපා. දැනුමක් නැති අයනේ ඕකට විරුද්ධව කෑ ගහන්නේ' ජනාධිපතිවරයා දුරකථනය ඔස්සේ සඳහන් කළේය.

හය හැවිරිදි දරුවා සහ රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා එක්ව රස කැවිලි සහ පලතුරු හුවමාරු කර ගනිමින් ඒවා අනුභව කළ බවත් එම අවස්ථාවේ අසල්වැසියන් එහි රැස් වී සිටි බවත් ප්‍රසාද් පුර්නිමාල් ජයමාන්න වැඩිදුරටත් සඳහන් කරයි.