දෙමළ උපාවාසකරුවන් 'හතර දෙනෙකුට බරපතළයි'

Image copyright Getty

ආහාර වර්ජනයක යෙදී සිටින හිටපු එල්ටීටීඊ සාමාජිකයන් යැයි සැක කෙරෙන සිව් දෙනකුගේ සෞඛ්‍ය තත්වය බරපතළ බව වාර්තා වෙයි.

ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර කීපයක රඳවා සිටින දෙමළ සිරකරුවෝ ආහාර සහ ඖෂධ වර්ජනයක යෙදී සිටිති.

උපවාසයේ නිරතව සිටින සිරකරුවන් බැලීමට මැගසින් බන්ධනාගාරය වෙත ගිය මංගලේස්වරී ශංකර් නීතිඥවරිය කියා සිටියේ ඒ අතර සිටින සිව් දෙනෙකුගේ මුත්‍රා සමග රුධිරය පිට වන බව තමන්ට දැන ගැනීමට ලැබුණු බවයි.

අසාධ්‍ය තත්වයේ පසු වන ඉඅහත කී රැඳවියන් සේලයින් ලබාගැනීම ප්‍රතික්ෂේප කොට ඇති බවත් ඇය කියා සිටියි.

නඩු පැවරීමකින් තොරව වසර ගණනාවක් බන්ධනාගාර ගත කොට සිටින දෙමළ සිරකරුවන් කෙරෙහි රජය හා නීතිපති දෙපාර්තමේන්තුව නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන බවටත් නීතිඥවරිය චෝදනා කළාය.

'අසාධ්‍ය නැහැ'

සිරකරුවන් සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට දීර්ඝ කාලයක් ගත කොට ඇති බැවින් දිනෙන් දින ඔවුන්ගේ සෞඛ්‍යය තත්වය පිරිහෙන බවත් ඇය සඳහන් කළාය.

මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය කියා සිටියේ කිසිදු සිරකරුවෙකු අසාධ්‍ය තත්ත්වයේ පසු නොවන බවයි.

උපවාසයේ නිරතවූවන් ආහාර නොගත්තද වෛද්‍ය උපදෙස් මත ජලය හා වෙනත් පාන වර්ග ලබා ගන්නා බවද ඔහු පැවසීය.

බන්ධනාගාර වෛද්‍යවරයා නිරන්තරයෙන්ම උපවාසකරුවන් පිළිබඳ සොයා බලන බවත් ඔවුන් රෝහල් ගත කිරීමට තරම් අසාධ්‍ය තත්ත්වයක නොමැති බවත් ඔහු සඳහන් කළේය.

වෛද්‍ය පරීක්ෂණ පිණිස පෙරදිනයේදී බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගිය උපවාසකරුවන් තිදෙනකු පරීක්ෂණවලින් අනතුරුව ආපසු බන්ධනාගාරය වෙත රැගෙන ආ බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය පැවැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර