සේවක යොහාන් දේවානන්ද පියනම සමු ගනී

Image caption යොහාන් දේවානන්ද පියතුමා ප්‍රගීත් එක්නැලිගොඩ පවුලේ සුව දුක් විචාරමින්

දශක හයක පමණ කාලයක් සමාජ සාධාරණත්වය, අන්තර් ආගමික අවබෝධය සහ ජාතික සමගිය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යොහාන් දේවානන්ද පියතුමා අද (05) අළුයම සිය ජාතික සමාජ සහ සාමයික කිස නිමවමින් දිවියෙන් සමු ගත්තේය.

ශ්‍රී ලංකාවේ ධනවත් ප්‍රභූ පවුලක උපත ලද සේවක යොහාන් දේවානන්ද එංගලන්තයේ අධ්‍යාපනයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණ 1950 ගණන් අවසානයේ දී කුරුනෑගල ඉබ්බාගමුව දේවසරණාරාමය සහ දේවසරණ සංවර්ධන කේන්ද්‍රය පිහිටුවීමෙහි ලා පුරෝගාමී විය.

සේවක යොහාන් දේවානන්ද යන නමින් පෙනී සිටි උන්වහන්සේ සිය පාරම්පරික ධන උරුමය ඉවත ලා සාමාන්‍ය ජනයා සමඟ සිය ජීවිතය ගත කළ ආගමික සහජීවනය මූර්තිමත් කළ ආදර්ශමත් දේවගැතිවරයකු වූහ.

සමාජ සංවාදය

ශ්‍රී ලංකාවේ සියලු ආගම් සහ මාක්ස්වාදය අතර සංවාදයක් ඇති කිරීමට උත්සාහ ගත් යතිවරයන් අතර සේවක යොහාන් දේවානන්ද ඉදිරියෙන්ම සිටියි.

‘යොහාන් දේවානන්ද පියතුමා 1956 පෙරළියට දායක වූ එමගින් සිය සමාජ මෙහෙය සමාරම්භ කළ ආගමික නායකයකු වන බවයි' බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය සඳහන් කළේ.

පසුගිය දශක හය පුරා ශ්‍රී ලංකාව තුළ සමාරම්භ කෙරුණ බොහෝ ප්‍රගතිශීලි ව්‍යාපාරයන්හි පෙරමුණ ගත් ආදර්ශමත් සමාජ සේවකයකු වූ යොහාන් දේවානන්ද සිය ජීවිත කාලයෙන් වැඩි හරියක් කැප කරන ලද්දේ ජාතීන් සහ ආගම් අතර සුහදතාවය මිත්‍රත්වය සහ සහජීවනය නංවාලීමට බවත් සුනන්ද දේශප්‍රිය පවසයි.

උන්වහන්සේ සිය සමාජ කාර්යභාරය වෙනුවෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේ ද සහභාගී කර ගැනීම විශේෂ ලක්ෂණයක් විය.

1971 කැරැල්ල

අසාර්ථක අප්‍රියෙල් කැරැල්ලට සම්බන්ධ වීමේ දී මරා දැමුණ සහ සිරගත කෙරුණ තරුණ තරුණියන් වෙනුවෙන් කිසිවකු ඉදිරිපත් නොවූ දුෂ්කර කාල පරිච්ඡේදයක ඔවුන් වෙනුවෙන් මැදිහත් වෙමින් යොහාන් දේවානන්ද පියතුමන් විසින් ඉටු කරන ලද කාර්යභාරය සමාජ ක්‍රියාධරයන්ගේ සම්මානයට ලක් විය.

1971 කැරැල්ලේ මහ නඩුවේ සැකකරුවකු වී තමා සිරගතව සිටියදී ඔහු නන්නාඳුනනා සමයක සිය නිවසට ගොස් දෙමව්පියන් හමු වී සහනය සැලසීමට දේවානන්ද පියතුමා පියවර ගෙන තිබුණ බවයි සුනන්ද දේශප්‍රිය පවසන්නේ.

අසූවේ වර්ජනය

1980 මහා වැඩවර්ජනයට සහභගී වීමෙන් රැකියා අහිමි වූවන්ට නැවත රැකියා ලබා දීම වෙනුවෙන් බටපොල ශ්‍රී අනෝමදස්සී මහ නාහිමියන් වැනි වෙනත් ආගමික නායකයන්ද සමඟ එක් වෙමින් හඬ නැගූ යොහාන් දේවානන්ද හිමියෝ එම ජනයාගේ සමාජ ශුභ සාධනය වෙනුවෙන් නොපැකිල පෙරමුණ ගත්හ.

1987න් පසුව රාජ්‍ය සහ වෙනත් අන්තවාදී කොටස්වල මිනිස් ඝාතන නතර කිරීමට උද්ඝෝෂණය කළ උන්වහන්සේ ඉන් නොනැවතී ජීවිත රැසක් රැක ගැනීමට සෙවන සපයමින් දේශනයෙන් පමණක් නොව ආදර්ශයෙන් ද ක්‍රියාත්මක වූ යතිවරයකු වූහ.

ජාතික සංහිඳියාව

ජාතික සංහිඳියාවක් ගොඩ නගමින් බහු ජාතික බහු ආගමික රාමුවක් තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව අතර සාමය ගොඩනැගීම වෙනුවෙන් ලිපි රචනා කළ දේවානන්ද හිමියන් ඒ වෙනුවෙන් ග්‍රන්ථ කීපයක් ද ලියා පළ කර ඇත.

මහත්මා ගාන්ධි මෙන් ආදර්ශමත් ඉතාම සරල දිවියක් ගෙවන ලද යොහාන් දේවානන්ද පියතුමා සමාජය වෙනස් කිරීමට සිය ජීවිතය කැප කළ සමාජ ක්‍රියාධරයකු වන බවයි සුනන්ද දේශප්‍රිය වැඩිදුරටත් සඳහන් කළේ.